Home ක්‍රීඩා පුවත් බංග්ලාදේශය හා සීෂෙල්ස් කණ්ඩායම් පෙරමුණට

බංග්ලාදේශය හා සීෂෙල්ස් කණ්ඩායම් පෙරමුණට

by Hela news

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, තරගය ගෝල් 1-0කින් සීෂෙල්ස් ජය ලබයි. එමෙන්ම බංග්ලාදේශය හා මාලදිවයින අතර, තරගයෙන් බංග්ලාදේශය ගෝල් 2-1ක ජයක් ලැබීම හේතුවෙන් ෂීෂෙල්ස් හා බංග්ලාදේශය ලකුණු 4 බැගින් ගෙන ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

එබැවින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් හෙට පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගයෙන් අනිවාර්යයෙන් ජය ගත යුතු වේ. ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මෙතෙක් ගෝල් 4ක් රැස් කර ඇති හෙයින් බංග්ලාද්ශය සමඟ තරගය ජය ගතහොත් ලකුණු සම වුවද රැස් කර ඇති ගෝල් සංඛ්‍යාවේ වාසිය අනුව අවසන් සටනට පිවිසීමේ අවස්ථා උදා කර ගනු ඇත. මෙවැනිම තත්ත්වයක් මාලදිවයින් පිලට ද ලැබී ඇති අතර, හෙට පැවැත්වෙන සීෂෙල්ස් තරගය ජය ගත හොත් ඔවුන්ට ද අවසන් තරගයට පිවිසීමේ අවස්ථා උදා වේ. මාලදිවයින මේ වන විට මේ තරගාවලියේ ගෝල් 5ක් රැස් කර ඇත.

රීඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැති ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර, තරගයේ 68 වැනි මිනිත්තුවේදී සීෂෙල්ස් මැද පෙළ ක්‍රීඩක එරික් මෙල්ලී තම කණ්ඩායමට එකම ගෝලය එක් කළේය. කෝනර් පහරක් ගෝල් කණුව අසලදී උඩ පැන හිසෙන් තල්ලු කිරීමෙන් ගෝලය සීෂෙල්ස් නාමය ඉදිරියේ සටහන් විය. එයට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩක අෂීකූර් රහ්මාන්ගේ අතේ පන්දුව වැදීම හේතුවෙන් දඬුවම් පහරක් සීෂෙල්ස් පිලට පිරිනැමූණ අතර, නායක ස්ටීව් බෙනොයිට් දඬුවම් පහර ගෝල් කණුවෙන් ඉවතට එල්ල කොට අසාර්ථක විය.

ශ්‍රී ලංකා පිලට මේ තරගයේ ගෝල් රැස් කිරීමේ අවස්ථා කිහිපයක්ම උදා වුවද එම සියල්ල පසුපස අවාසනාව ලුහුබැඳ පැමිණියේය.

මේ අතර, බංග්ලාදේශය හා මාලදිවයින අතර, තරගය ගෝල් 2-1ක් ලෙස බංග්ලාදේශය ජය වාර්තා කළේය. තරගයේ පළමු භාගය නිමාවෙද්දී කණ්ඩායම් දෙකම සම තත්ත්වයක සිටියද 88 වැනි මිනිත්තුවේදී මාලදිවයින ගෝල් කීපර් අලී නජී බංග්ලාදේශ ක්‍රීඩකයකුට හිතාමතා අවහිර කිරීමක් හේතුවෙන් බංග්ලාදේශයට දඬුවම් පහරක් පිරිනැමිණි. එය සාර්ථක කර ගැනීමට ටෝපු බර්මාන්ට හැකි වීමෙන් බංග්ලාදේශයට ජය මාවත විවර විය. තරගයේ 12 වැනි මිනිත්තුවේදී බංග්ලාදේශය වෙනුවෙන් නායක ජමාල් බුහුයාන් හා 32 වැනි මිනිත්තුවේදී මාලදිවයින වෙනුවෙන් මොහොමඩ් උමාර් ගෝල් වාර්තා කළහ.

මේ තරගාවලියේ මෙතෙක් පැවැති තරගවල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පැවැති පළමු තරගය ගෝල් 4-4ක් ලෙසත්, බංග්ලාදේශය හා සීෂෙල්ස් අතර තරගය ගෝල් 1-1ක් ලෙසත් ජය පරාජයක් නැතිව නිමා විය.

මේ පාපන්දු තරගාවලියට පිවිස සිටින මාලදිවයින ලෝක පාපන්දුු ශ්‍රේණිගත කිරීමේ 156 වැනි ස්ථානයේ සිටින අතර, බංග්ලාදේශය 187 වැනි ස්ථානයේ සිටී. සීෂෙල්ස් පිල 199 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව රැඳී සිටී.

0 comment
0

Related Posts

Leave a Comment