Home කාලීන පුවත් පොසිටිව් අය සොයන්න පේරාදෙණියෙන් නව යන්ත්‍රයක්

පොසිටිව් අය සොයන්න පේරාදෙණියෙන් නව යන්ත්‍රයක්

by Hela news

පරීක්ෂණයකට රු. 1,500යි

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් සහිත පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මේ නිර්මාණය පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙන අතර, රුපියල් 1,500ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු කියා සිටී. මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර, එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින අතර, මේ විශේෂිත පරීක්ෂණ කට්ටලය ‘RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)‘ ජාතික හා අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර තිබේ. ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන බවත්, විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකික නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා මේ අවස්ථාවට එක් වෙමින් පැවසීය. මේ වන විට එන්නත්කරණයෙන් අන්තර්ජාතික ප්‍රසාදයට අප රට පත්ව ඇතැයිද එමෙන්ම එන්නත්කරණයෙන් ලොව ඉහළම ස්ථානයකට අප පැමිණ ඇතැයිද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉතා කඩිනමින් කොවිඩ් ව්‍යසනය පරාජය කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය දර්ශන යාපා යන මහත්වරුන් සහභාගි වූහ.

0 comment
0

Related Posts

Leave a Comment