Home දේශීය පුවත් පොලිසියේ හිස්වුණු OIC පුටු අල්ලන්න මැති-ඇමැති ලිපි අරන් ජීප් පෝලිමේ

පොලිසියේ හිස්වුණු OIC පුටු අල්ලන්න මැති-ඇමැති ලිපි අරන් ජීප් පෝලිමේ

by Hela news

පොලිස් ජීප් රථ ඇතුළු වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් රැස් වෙයි

සහකාර පොලිස් අධිකාරි තනතුරට නිලධාරීන් 225ක් උසස්වීමත් සමග පුරප්පාඩු වූ පොලිස් ස්ථානාධිපති තනතුරු ඉල්ලා මැති ඇමැතිවරුන්ගේ ලිපි රැගත් නිලධාරීහු විශාල පිරිසක් ඊයේ (11 වැනිදා) උදෑසන සිට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ සිටියහ.

පොලිස් ජීප් රථ ඇතුළු වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (11 වැනිදා) පෙරවරුවේ සිට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අසල තිබූ බවත් ඇමැති ආරක්ෂක අංශය එම ලිපි භාරගෙන පැමිණි නිලධාරීන් ඇතුළට නොගෙනම හරවා යැවූ බවත් අනාවරණය වේ.

අප මේ සම්බන්ධව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් කළ විමසුමකදී පැවසුවේ දේශපාලනඥයන්ගේ නිර්දේශ සහිත ලිපි ප්‍රතික්ෂේප කරන බවයි. ස්ථානාධිපති ධුරයක් ලබාදීමට එය සුදුසුකමක් සේ නොසලකන බවත් කීය.

ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා මීට පෙර සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එහිදී සුදුසුකම් ලැබූවන්ට ප්‍රමුඛතාව දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225කට උසස්වීම් ලබාදීමේදී පොලිස් ස්ථානාධිපති තනතුරු 120ක් පමණ පුරප්පාඩු විය.

එම තනතුරු සඳහා ආසන සංවිධායක හා මැති ඇමැතිවරුන්ගේ නිර්දේශ අවශ්‍ය බවට සැලවීමත් සමග තනතුරු අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් මැති ඇමැතිවරුන් පසුපස යන්නට පටන් ගෙන ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරුන් එකම පොලිස් ස්ථානයට නිලධාරීන් දෙතුන් දෙනාට පවා ලිපි ලබාදී ඇතැයිද දැනගැනීමට ඇත.

සුදුසුකම් සපුරා නැති නිලධාරීන් බහුතරයක් දේශපාලනඥයන්ගේ ලිපි රැගෙන තනතුරු අපේක්ෂාවෙන් සිටින බවද හෙළිවේ.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධුරය සඳහා මැති ඇමැතිවරුන්ගේ ගැටුමක්ද මීට පෙර වාර්තා වූයේ ඇමැතිවරුන්ගේ නිර්දේශිත ලිපි ඉදිරිපත් කිරීමක් නිසාය

0 comment
0

Related Posts

Leave a Comment