පොලාඩ් මුම්බායි දිනවයි

0
57

කිරන් පොලාඩ්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයෙන් වාර්තාගත ජයක් හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 4කින් පරාජයට පත් කරමිනි. දිල්ලිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල කඩුලු 4ක් දැවී ලකුණු 218ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය මුම්බායි පිල අවසන් පන්දුවෙන් ජය අත් කර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය.

මේ අයිපීඑල් වාර්තා අතරට එක් වූයේ තරගයක් හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. මුම්බායි ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 81කට බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කිරන් පොලාඩ් පන්දු 34කදී වේගවත් ලකුණු 87ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 17කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් ඔහු හතරේ පහර 6කින් සහ හයේ පහර 8කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

හර්දික් පාන්ඩ්‍යා (32) සමඟ එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 44කින් ලකුණු 89ක සබඳතාවක් ගොඩනැඟීමට ද පොලාඩ් සමත් විය. ක්වින්ටන් ඩි කොක් ලකුණු 38ක් සහ නායක රෝහිත් ශර්මා ලකුණු 35ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ අම්බති රයිදු නොදැවී ලකුණු 72ක් රැස් කළේ පන්දු 27කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 7කින් ඉනිම වර්ණත් විය. ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 50ක් සහ මොයින් අලි ලකුණු 58ක් චෙන්නායි ඉනිමට එක් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here