Home ක්‍රීඩා පුවත් පොගාට් මල්ලවපොර පරපුරේ විනේෂ්ට උඩඟු බව වින කෙටූ හැටි

පොගාට් මල්ලවපොර පරපුරේ විනේෂ්ට උඩඟු බව වින කෙටූ හැටි

by Hela news

යම් අසීරුතාවකට පත් වූ මිනිසකු තවත් එවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විට කියන්නේ ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ’ යැයි කියා ය. මේත් ඒ ආකාරයේ සංසිද්ධියකි. එය වාර්තා වූයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ය. එම සිද්ධිය අසන්නට ලැබෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. මේ ඒ කතාවය.

ටෝකියෝ නුවර පැවැති 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලියට සහභාගී වූ ඉන්දීය ක්‍රීඩිකා විනේෂ් පොගාට් නැවත සිය රට බලා ගියේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි අකරතැබ්බයක් සමඟ ය.

විනේෂ් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ජපානයට පැමිණියේ බල්ගේරියාවේ සිට ය. ඒ ඔලිම්පික් උළෙල ඉලක්ක කොට වැඩිදුර පුහුණුවක් ලබා දීමට ඇය එහි යවා තිබූ බැවිනි.

ක්‍රීඩා උළෙලට දින 15 ක් පමණ ඉතිරිව තිබිය දී තමන්ගේ පුහුණුකරු වූ වොලර් අ‍කෝස් සමඟ හංගේරියාවට පැමිණි විනේෂ් එහි දී අවසන් පුහුණුවීම්වලටද සහභාගී වී තිබුණි.

බල්ගේරියාවට ගිය ඇය එහි දී මල්ලවපොර තරගාවලි රැසකට සහභාගී වීමෙන් පසු ටෝකියෝ නුවරට පැමිණ තිබුණේ කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලොව අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.

නමුත් ඇය ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට ගිය සැණින්ම කළේ ඉන්දීය මල්ලවපොර ක්‍රීඩිකාවන් වූ සෝනම් මලික්, අනුෂ් මලික් හා සීමා බිස්ලා සමඟ එක ම කාමරයක නවාතැන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම ය. තරගවලට සහභාගී වීමේ දී අඳින්නට ඇයට ලබා දුන් නිල ඔලිම්පික් ඇඳුම් කට්ටලය ද ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

තව ද ඇයට වෙන ම භෞත චිකිත්සකවරයකු ලබා දෙන ලෙසට ද ඇය ඉල්ලා සිටියා ය. නමුත් ඉන්දීය මල්ලවපොර ක්‍රීඩිකාවන් සිව්දෙනා වෙනුවෙන් ලබා දී තිබුණේ එක භෞත චිකිත්සකවරයකු බැවින් ඇගේ එම ඉල්ලීම ද ඉන්දීය බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

ඉන් උරණ වූ ඇය කළේ මාධ්‍යට අදහස් දක්වමින් බලධාරීන්ගේ ක්‍රියා කලාපය විවේචනය කිරීම ය.

“මම මට ම කියලා භෞත චිකිත්සකවරයෙක් ඉල්ලා සිටීම අපරාධයක් ද? අපි හතර දෙනාට එක භෞත චිකිත්සකවරයෙක් දුන්නත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකාර මණ්ඩලයක් ම ලබා දීලා තියෙනවා. ඒක සාධාරණ ක්‍රියාවක් ද?“ ඇය ප්‍රසිද්ධියට පත් කරන ලද චෝදනාව එවැන්නකි.

විනේෂ් පොගාට් හා ඉන්දීය කණ්ඩායම භාර නිලධාරින් අතර මතභේද ගොඩනැඟෙන්නට මෙම කාරණා මුල් විය. ඔලිම්පික් කාන්තා මල්ලවපොර තරගාවලිය ආරම්භ වූයේ එකී මතභේදයේ ගිනි පුපුරු අළු යට සැඟව තිබියදී ය.

ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරගාවලිය අගෝස්තු 05 වැනි දා ආරම්භ විය. කිලෝග්‍රෑම් 53 බර පන්තියට අයත් තමන්ගේ පළමු තරගයට සහභාගී වීම සඳහා විනේෂ් ඇගේ අනුග්‍රාහකයා වූ නයික් සමාගම සපයා තිබූ ඇඳුමෙන් සැරසී පැමිණ සිටියා ය.

ඇගේ පළමු ප්‍රතිවාදියා වී තිබුණේ ස්වීඩන් ක්‍රීඩිකා සොෆියා මැට්සන් ය. සොෆියා 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මෙම බර පන්තියේ ලෝකඩ පදක්කමේ හිමිකාරිය ය. එහෙත් විනේෂ්ට ඇගෙන් තර්ජනයක් එල්ල නොවී ය. එබැවින් ලකුණු 7/1 ක් ලෙස විනේෂ් ගේ ජයග්‍රහණය තහවුරු විණි.

එදින ම පැවැති විනේෂ්ගේ දෙවැනි තරගය යෙදී තිබුණේ බෙලරුසියාවේ වැනේසා තලඩ්සින්ස්කායා සමඟිනි. විනේෂ්ට එම තරගය නම් පහසු වූයේ නැත. එහි දී විනේෂ් පරාජයට පත්ව තිබුණේ වැනේසා විසින් අගේ උරහිස් දෙක ම එක වර මල්ලවපොර මෙට්ටයේ ස්පර්ශ කිරීමට සලස්වමිනි. එසැණින් ඔලිම්පික් පදක්කමක් ගෙල පැලඳීමට විනේෂ් දුටු සිහිනය ද මැකී ගියා ය.

එසේ වුවත් ඇය අයත් වන්නේ මල්ලවපොර පරම්පරාවකට ය. ඇගේ පියා රාජ්ජාල් පොගාට් ය. මහප්පා මහවීර් සිං පොගාට් ය. මේ දෙදෙනා ම ඉන්දීය ජාතික ශූරතා දිනා ඇති හිටපු ක්‍රීඩකයන් ය. ගීතා පොගාට් හා බබීනා ඥාති සොහොයුරියන් ය. රතූ පොගාට් ඥාති සොහොයුරෙකි. ඉඩම් ආරවුලකට මැදි වූ ඇගේ පියා වෙඩි වැදී මිය ගොස් තිබුණේ විනේෂ් හත් හැවිරිදි වියේ පසුවෙද්දී ය. ඔවුන් සියලු දෙනා ම මල්ලවපොර ක්‍රීඩාව ඔස්සේ ජාතික හෝ ජාත්‍යන්තර තරග ජය ගන්නට සමත් වූවන් ය.

ක්‍රීඩාවේ දී පෙන්වන ලද දස්කම් නිසා ම ඉන්දීය ජාතිකයකුට ලබා ගත හැකි ඉහළ ම සම්මානයක් වූ අර්ජුන් සම්මානයෙන් 2016 වසරේ දී පුද ලබන්නට විනේෂ් සමත් වූ අතර, ඒ වසරේම ඇය ලෝරස් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මානයට ද යෝජනා වී තිබිණි.

කෙතරම් ඉහළ කුසලාන සහිත ක්‍රීඩිකාවක වුව ද ඔලිම්පික් උළෙලට පැමිණි විනේෂ් පොගාට්ට නැවත සිය රට බලා යන්නට සිදුවූයේ හිස් අතිනි. එපමණක් ද නොව එළැඹෙන අගෝස්තු 16 වැනිදාට පෙර තමන්ට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා 03 ක ට අදාළ ව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ද දැන් ඇයට සිදුව ඇත.

ඉතින් ඇගේ නිදහස් වීම හෝ උදහසට ලක්වීම රැඳී ඇත්තේ ඇය අතේම ය.

තමන්ගේ එම ඉල්ලීම්වලට මුල් වූයේ කොවිඩ් වසංගතයට ඇති බිය යැයි පැවසීමේ හැකියාව විනේෂ් සතුව ඇතත් එසේ නම් විවිධ රටවලින් පැමිණි ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමට චකිතයක් ඇති නොවූයේ ඇයි ද යන්න ටද ඇය සතුව පිළිතුරු තිබිය යුතු ය.

‘කුසලතාවන්ගෙන් පිරිපුන් වෙලා තරු බවට පත්වෙන සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ තරු ගුණය අවභාවිත කරන්න පෙලඹෙනවා. ඒක බරපතළ මුළා වීමක්. ඔවුන් පළමුවෙන්ම සිතිය යුත්තේ තමන් තරුවක් බවට පත් කළ රට ගැනයි.’

මේ වන විට තාවකාලික තරග තහනමකට ලක්ව සිටින විනේෂ් පොගාට්ගේ සිදුවීම පිළිබඳ ව අදහස් දක්වා ඇති ඉන්දීය මල්ලවපොර සංගමයේ නියෝජ්‍ය ලේකම් විනෝද් ටොමාර් එලෙස ප්‍රකාශ කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment