Home කාලීන පුවත් පේරාදෙණියට රන් ලකුණක්

පේරාදෙණියට රන් ලකුණක්

by Hela news

ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඒ අධ්‍යාපනය, පරිසරය, පර්යේෂණ, ජත්‍යන්තර දැක්ම ඇතුළු නිර්ණායක ගණනාවක් අදාළ වර්ගීකරණය සඳහා ඔවුන් සලකා බලන බැවිනි. මේ නිසාම ලොව විශ්වවිද්‍යාල සම්බන්ධ තොරතුරු සෙවීමේදී ටයිමස් ශ්‍රේණිගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිසුන් පමණක් නොව ආචාර්යවරු ද උනන්දු වෙති. රටවල් 100 ක පමණ විශ්වවිද්‍යාල දහස් ගණනක් පාදක කරගනිමින් ඔවුන් පසුගියදා 2022 වසර සඳහා ලොව හොඳම විශ්වවිද්‍යාල 1800 ක නම් ලැයිස්තුවක් එළිදැක්වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය එහිදී ලොව හොඳම විශ්ව විද්‍යාල 500 අතරට පැමිණියේ අඛණ්ඩව තුන්වන වතාවටය. අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව මෙරට විශ්වවිද්‍යාල සියල්ල අබිබවා අංක එකට පැමිණීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇත්තේ ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට පත්වීමේ ගෞවරයද සමඟිනි. කොළඹ විශ්වවිද්‍යාලය මේ ශ්‍රේණිගත කිරීමේදී ජත්‍යන්තර මට්ටමින් ඇතුළත්ව ඇත්තේ 800-1000 අතර කාණ්ඩයටය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට පැමිණියේ එහි අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණක් නොව සිසුන්ද කාලයක් පුරා කළ කැපවීම් වල ප්‍රතිඵල නිසාය. එක් පැත්තකින් මහවැලි නදියෙනුත් තවත් පැත්තකින් හන්තාන කඳු වැටියෙනුත් වටවූ වන ගහනය විසින් වෙළා ගත් නීල හරිත පරිසරයකින් සමන්විත විශ්වවිද්‍යාල පරිශ්‍රය සැබවින්ම දැහැන් ගතව අධ්‍යාපන කටයුතු කරන්නට සිසුන්ට මඟ පාදන තෝතැන්නක් බව අවබෝධ කරගත් සර් අයිවර් ජෙනිග්ස් යුනිවර්සිටි ඔෆ් සිලෝන් නමින් මුල් වරට විශ්වවිද්‍යාලය පේරාදෙණියේ ආරම්භ කරනු ලැබ ඇත්තේ 1942 වසරේදීය. පීඨ නවයකින් යුතු මෙහි සිසුන් 12000 ක් පමණ අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය 800 ක පමණ පිරිසකගෙන් සමන්විත අතර අන්‍යධයන කාර්ය මණ්ඩලයට අයත් සේවක පිරිස 3000 කි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරම්භය හා විකාශනය පිළිබඳව වත්මන් පුස්තකාලාධිපති රාසයියා මහේෂ්වරන් දැක්වූවේ මෙවන් අදහසකි. ශ්‍රී ලංකාවට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම සඳහා එදා ජාති, ආගම් බේදයෙන් තොරව අපේ නිදහස් සටනේ පෙරමුණේ සිටි පිරිස් කටයුතු කළා. ටී. බී ජයා, ඩී.ආර් විජයවර්ධන, පොන්නම්බලම් රාමනාදන්,පොන්නම්බලම් ආරුණාචලම්, ජේම්ස් පීරිස්, අක්බර්, ඩී.බී ජයතිලක ඇතුළු කණ්ඩායමක් මෙහි පෙරමුණේ හිටියා.මේ යෝජනාව සමඟ එදා එංගලන්තයට ගියේ රාමනාදන් ය. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට යුනිවර්සිටි කොලේජ් එක 1921 දී ලැබෙනවා. එංගලන්තය මගින් පාලනය කළ මේ වෙනුවට අපිට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවට මේ පිරිස අරගල කළා. එංගලන්තයේ විශ්ව විද්‍යාල නියෝජිතයකු ලෙස රැජිනගේ උපදෙස් මත සර් අයිවර් ජෙනින්ග්ස් මෙරටට එන්නේ ඒ අනුවයි. ඔහු ගාල්ල, මාතර, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ රැසක විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න සුදුසු පරිසරයක් සහිත භූමියක් සොයනවා. පේරාදෙණියේ වර්තමාන විශ්වවිද්‍යාලය ස්ථාපිතව පවතින භූමිය ඔහුගේ ඇස ගැසෙන්නේ ඒ ගමනේදීයි. මේ සියලු කරුණු ඔහු විසින් රචිත කැන්ඩි රෝඩ් නැමැති පොතේ අන්තර්ගතයි. යුනිවර්සිටි ඔෆ් සිලෝන් නමින් 1942 පේරාදෙණියේ විශ්වවිද්‍යාලය නාමිකව ආරම්භ වෙනවා. මෙහි මුල් ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු අවසන් වී තිබෙන්නේ 1949 වසරේදීයි. නීතී, කෘෂි හා පශු වෛද්‍ය පීඨ මුලින් ආරම්භ කිරීමෙන් අනතුරුව කලා පීඨය සිසුන් 820 දෙනෙකු සමඟින් විවෘත කෙරෙන්නේ 1952 වසරේදීයි. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 1949 වසරේ සිට අඛණ්ඩව සිදු කරගෙන ගියත් එළිසබත් රැජින හා එඩින්බරෝ ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය උත්සවශ්‍රීයෙන් විවෘත කෙරෙන්නේ 1954 දීයි. විද්‍යා හා ඉංජිනේරු පීඨ 1961 දී විවෘත කිරීමෙන් අනතුවරුව වෛද්‍ය පීඨය ඉන් වසරකට පසු ආරම්භ කරන්නේ සිසුන් 103 දෙනෙකු සමඟින්. එදා දුම්රියෙන් ගමන් බිමින් ගිය නිසා විශ්ව විද්‍යාලය ආසන්නයේ දුම්රිය ස්ථානයක්ද ස්ථාපිත කළා. සරසවි උයන නමින් අද එය හඳුන්වනවා. ලංකාවට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම සඳහා පෙරමුණ ගත් පිරිස අනුස්මරණය කිරීම පිණිස ඔවුන්ගේ නම් වලින් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නම් කර තිබීමත් විශේෂ කාරනයක් මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෙස නම් වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමඟයි.

ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2020,2021 හා 2022 වසර වල ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරේ රැඳෙන්නට සමත්වීම පසුපස සිටි නියමුවා වූවේ හිටපු උප කුලපති මහචාර්ය උපුල් දිසානායක ය.

ඔහු මේ සම්බන්ධව කිවේ මෙවන් කතාවකි. ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය මගින් සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීම ලෝකයම පිළිගන්නා එකක්. ඒ අය නිර්ණායක ගණනාවක් පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි මේ කාර්යය සිදු කරන්නේ. විශ්වවිද්‍යාලයේ පීඨ ගණන, පාඨමාලා ගණන, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සංඛ්‍යාව, විදේශ සිසුන් ගණන, වාර්ෂිකව එළිදක්වන පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණය හා ඒවාට ජත්‍යන්තර මට්ටමින් ලැබෙන පිළිගැනීම, කාර්ය මණ්ඩලයට අනුව ශිෂ්‍ය සංඛ්‍යාව,විදේශීය විශ්ව විද්‍යාල හා පවතින සම්බන්ධතාව, ඉපයීම් ආදායම, පරිසරය ආදි බොහෝ කාරණා මෙහිදී සැලකිල්ලට ගන්නවා. මේ සියලු අංශ වලින් ඉහළට ආව නිසා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මේ ගෞරවය ලබාගන්න පුළුවන් වුණේ. දැනට වසර පහකට පමණ පෙර අපි හිටියේ ලංකාවේ විශ්වවිද්‍යාල අතර දෙවැනි තැන. මේක ඇත්තටම සාමුහිකව ලබාගත් ජයග්‍රහණයක්. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු, පර්යේෂකයන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් මේ පසුපස ඉන්නවා.

මේ ආකාර ජත්‍යන්තර පිළිගැනීමක් ඇති ශ්‍රේණිගත කිරීමකදී පෙරමුණට පැමිණිමේ වැදගත්කම සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මෙසේ කීවේය. ටයිම්ස් ශ්‍රේණිගත කිරීම්වල මුල් 500 අතරට පැමිණීම මඟින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව විශේෂ අවධානයක් ලෝක මට්ටමින් ඇති වෙනවා. මේ රටේ කෙනෙක් විදේශ විශ්වවිද්‍යාලයක් අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගැනීමේදී ජත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණ විශ්වවිද්‍යාලයක ඉදිරි ගමනට විශාල පිටු බලයක් වෙනවා. අනෙක් විශේෂ කාරණය තමයි විදේශිය විශ්ව විද්‍යාල අපිත් එක්ක සහයෝගයෙක් වැඩකරන්න මේ තුළින් වැඩි නැඹුරුතාවක් ඇති වෙනවා. විශ්වවිද්‍යාල වලට විදේශීය අරමුදල් ලැබෙනවා. මේ වගේ ශ්‍රේණිගත කිරීමකදී ඉහළට ආවම ඒ අරමුදල් දෙන ආයතන තුළ විශ්වාසයක් ඇති වෙනවා. ඒ දෙන මුදල් වලින් මේ අය වැඩක් කරනවා කියලා. පර්යේෂණ ප්‍රදානවලට ඉල්ලුම් කිරීමේදී විශේෂ සැලකීමක් කරනවා. ආදී විද්‍යාර්ථීන්ට වුණත් විශ්වවිද්‍යාලයට උදව් කරන්න යම් උත්ප්‍රේරණයක් මේ තුළින් ඇති වෙනවා. අනිත් පැත්තෙන් අචාර්ය මණ්ඩලය, අනධ්‍යයන සේවක මණ්ඩලය තුළ පවා විශාල පිබිදීමක් ඇති කිරීමට මේ ජයග්‍රහණය හේතු වෙනවා.

විශ්වවිද්‍යාලයක් සඳහා මහජන මුදල් අතිවිශාල ප්‍රමාණයක් වැය කරනවා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට එනකොට ජනතාවට වුණත් එ් මුදල් වලින් වැඩක් වෙන බව පේනවා.

මේ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට ඒමට විශ්වවිද්‍යාල අතර විශාල තරගකාරීත්වයක් තිබෙනවා.මුල් 500 අතරට එන්න භට පසුපසින් ඉන්න හැමෝම උත්සහ කරනවා. විශේෂයෙන් 500-600 අතර සිටින අය. ඉන්න තැනින් පහළට වැටෙන්න ලේසියි. නමුත් තවත් එක් පියවරක් හෝ ඉදිරියට යන්න විශාල මහන්සියක් ගන්න ඕන. කොවිඩ් හේතුවෙන් මේ වසර දෙකේදී අපේ වැඩකටයුතු ගොඩක් අඩාළ වුණා. පර්යේෂණ වලට එන මුදල් වුණත් අඩුයි. අධ්‍යයන කටයුතු පවා කරගෙන යන්නේ අර්බුද මැදයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට පාදක කරගන්නා නිර්ණායක සැලකීමේදී අපට වළක්වා ගත නොහැකි හේතු නිසා යම් යම් අංශ වල පසුබැසීම් ඇති වෙනවා. ඒ නිසා අපිට ලොකු කාර්යයක් කරන්න වෙනවා; ඊළඟ ශ්‍රේණිගත කිරීම්වල මේ මට්ටම ආරක්ෂාකර ගැනීමට.

දශක අටකට ආසන්න ඉතිහාසයක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දැක්ම හා මෙහෙවර අදට ගැළපෙන ලෙස ගළපා ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කිරීම එහි වත්මන් ප්‍රගතියට විශේෂයෙන් බලපා තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් වලදී සැලකෙන නිරණායක හා ගළපා ගැනීම පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තත්ත්ව හා පාලන ඒකකයක් ස්ථාපිත කර ඇත.

එහි වත්මන් අධ්‍යක්ෂවරයා වන්නේ මහචාර්ය රංජිත් පල්ලේගමය. කොවිඩ් හමුවේ මුළු ලොවම අර්බුදයකට ලක්ව තිබෙන අවස්ථාවක පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකීය නාමය අධ්‍යාපන අංශය තුළින් ලෝක මට්ටමේ ඉහළ ස්ථානයක සටහන් කිරීමට ගත් වෑයම අගය කළ යුත්තේ එ් තුළ උනන්දුව, කැපවීම, විනය, ආදර්ශය, සැලසුම් සහගත බව ආදි බොහෝ ගුණාංග ගැබ්වී වී තිබෙන බැවිනි.

0 comment
0

Related Posts

Leave a Comment