Home දේශීය පුවත් පූජිත්ට හේමසිරිට අධිචෝදනා පත්‍ර භාර දෙයි

පූජිත්ට හේමසිරිට අධිචෝදනා පත්‍ර භාර දෙයි

by Hela news

පාස්කු ඉරු දින ප්‍රහාර:

  • නොවැම්බර් 22 සිට දිනපතා විභාගයට
  • පූජිත්ගේ නඩුව උදේ හේමසිරිගේ නඩුව සවස
  • විනිසුරු මඬුල්ල තීරණය කරයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට අපොහොසත් වී යැයි, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩු දෙකෙහි අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට බාර දුන් කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩු දෙක නොවැම්බර් 22 දින සිට දිනපතා විභාග කිරීමට ඊයේ (1) දින නියම කළේය.

විත්තිකාර පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව උදෑසන වරුවේ සහ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව හවස් වරුවේ විභාග කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්ෂඩීන් මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙසේ අධි චෝදනා පත්‍ර භාර දී දින නියම කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු නිලධාරීන්ට එරෙහි මෙතෙක් පැවරූ ප්‍රථම සහ එකම නඩු දෙක මෙය බවත්, අනෙකුත් නඩු ත්‍රස්තවාදි සැකකරුවන්ට පැවරූ නඩු බවත් පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා නඩු විභාගයට දින දෙන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා මඟින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 864 ගොනු කළ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම චෝදනා සංශෝධනය කර එක් එක් විත්තිකරු වෙනුවෙන් අධි චෝදනා 855ක් බැගින් ගොනු කර ඇතැයි සඳහන් කළේය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 1,216ක් නම් කර ඇති බව පැවසීය. එම සංශෝධනයන් පිළිබඳ නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාව දැනුම්වත් කර ඇති බවත් පැවසීය.

විත්තිකරුවන්ට අවශ්‍ය නම් අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පිළිගැනීම් සටහන් කිරීමට හැකි බවද පැවසීය.

විත්තිකරුවන්ට චෝදනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති හෙයින් එය අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධාන වී තිබෙන බවට ආසන්න බුද්ධි තොරතුරු ලැබී තිබියදී නිසි ක්‍රියාමාර්ග නොගැනීම, බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ බුද්ධි තොරතුරු නොසලකා හැරීම ඇතුළු චෝදනා 864 බැගින් ඉදිරිපත් කරමින් මේ නඩු පවරා ඇත.

විත්තිකරුවන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම හා 306 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීමට අදාළව මේ අධි චෝදනා ඉදිරිපත් කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment