Home උණුසුම් පුවත් පුහුණුව ලබන උපාධිධාරීන් 53,000 මාස තුනක් තුළ රජයේ ආයතනවල සේවයට යොදන්න

පුහුණුව ලබන උපාධිධාරීන් 53,000 මාස තුනක් තුළ රජයේ ආයතනවල සේවයට යොදන්න

by Hela news

ජනපතිගෙන් උපදෙස්

දැනට පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනයන්හි සේවා සඳහා ස්ථානගත කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (14) පැවසීය‍.

අධ්‍යාපන ඇමැති, දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහත්වරුන්ට එහි වගකීම පැවරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.

උපාධිධාරී පනස් තුන්දාහෙන් දහඅට දාහක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන් ලෙස ස්ථානගත කිරීමට ආණ්ඩුව අදහස් කර තිබූ බව පවැසූ ඒ මහතා එම කටයුතු අවසන් නොවුණ නිසා මාස හයක දිගු කිරීමක් කැබිනට් මණ්ඩලයට ආවද එය මාස හයකට වැඩි කාලයක් දීර්ඝ කිරීම සාධාරණ නැති හෙයින් ඉතාම කෙටි කාලයකින් මාස දෙක තුනක් ඇතුළත ඒ කටයුත්ත සමාප්ත කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය. ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

පනස් තුන්දාහක් වූ අපේ බුද්ධිමත් දූ දරුවන් අවශ්‍ය ස්ථානවලට, රාජ්‍ය ආයතනවලට සේවය සැලසීමට කටයුතු කරන්නැයි කියලා ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා. ඒ නිසා අප විශ්වාස කළා එය කඩිනමින් සිදුවේවි කියලා. මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කළාම නැවත රැකියාවලට බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන්න කියලා මේ උපාධිධාරීන්ටත් එය අදාළ යැයි යම් වැරදි ප්‍රචාරයක් අරන් ගියා. සමහරු කලබල වෙලා මටත් කතා කරලා ඇහුවා. එසේ වන්නේ නැහැ කියන එක මට නියත වශයෙන්ම කියන්න පුළුවන්. මෙය සමස්ත කැබිනට් එකේ වගකීමක් ලෙසයි අප තේරුම් අරගෙන තිබෙන්නේ. එලෙස පුහුණුව ලබන අයට රුපියල් 20,000 දීමනාව නොලැබුණා කියා අපට කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. යම් ආකාරයක ගැටලුවක් තිබේ නම් ඒ හිඟ මුදල් සමඟම ගෙවීම ගැන කිසිදු චකිතයක් තියාගන්න එපා. එවැනි යම් ගැටලුවක් ඇති වුණ පුද්ගලයෙක් සිටිනව නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එම තොරතුරු දෙන්න යැයි ඉල්ලා සිටිනවා.

0 comment
0

Related Posts

Leave a Comment