Home ගොසිප් පුවත් පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය වුණු කළු කුමාර සංකල්පය

පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය වුණු කළු කුමාර සංකල්පය

by Hela news

ඉර අවරට යන හැන්දෑ ජාමෙට ගැහැනු ළමයින්ට  නාන තොටුපළවල  තනි පංගලමේ නාන්න හොඳ නෑ… තනිකම් දෝෂ වැටෙනවා .. මේ දෝෂවලට අහුවුණොත් කසාදයකවත් හරියන්නේ නැහැ. කසාදයක් හරි ගියත්  දරුපල හිටින්නෙත් නෑ…

මේ විදිහට ගම්බද වැඩිහිටියන් පවසනු අදටත් සමහර පළාත්වලින් අපට අහන්නට ලැබෙනවා. කාන්තාවන්ට සහ නව යොවුන් තරුණියන්ට බැල්ම දමා ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කරන්නේ කළු කුමාරයා බවට ගැමි  ජන විශ්වාසයන් පවතිනවා.  කළු කුමාරයාගෙන් තරුණියන් ගලවා ගැනීමට පවත්වන තොවිල්  ගැනත් පුරාණ  සමාජයේ අහන්නට ලැබුණා.   අදටත් සමහර පළාත්වල මේ තොවිල් පවත්වන බව පේනවා.

කවුද මේ කළු කුමාරයා?

කළු කුමා­රයා කියලා කියන්නේ  වැඩිවිය පත් වූ තරුණියන්ගේ වගේ ම විවාහක තරුණියන්ගේත් හිතේ ඇති­වන සංක­ල්ප­යක්. එය මනෝ විද්‍යාත්මකව නම් මානසික ව්‍යාකූලබවක් ලෙස හැඳින්විය හැකි යි.  බොහෝ විට වැඩිවියට පත් තරුණ ගැහැනු ළමයින්ට ඇතිවන විවිධ මානසික අවුල්වලට හේතුව කළු කුමාරයාගේ බැල්ම බවට විශ්වාසයක් දකුණේ ගැමි සමාජයේ බහුලව මුල් බැසගෙන තිබුණා.

එයට පුද්ගල ස්වරූ­ප­යක් ආරෝ­ප­ණය කිරීම තමයි කළු කුමාර සංකල්පයෙන් සිදුවුණේ.  කළු කුමාරයායේ ස්වරූපය, හැසිරෙන ආකාරය ගැන  විස්තර වන සාහි­ත්‍ය­යක් අපේ ගැමි සමා­ජය ආශ්‍රිත ශාන්ති කර්ම කලාවේ ගොඩ­නැඟී තිබෙ­නවා. කාන්තා­වන්ට නොයෙක් උප­ද්‍රව හිරි­හැර කරන යක්ෂ­යකු විදි­හට තමයි කළු කුමා­රයා හඳු­න්වන්නේ. ජෝන් කැලවේ පියතුමා, පෝල් වර්ස්, මහාචාර්ය තිස්ස කාරියවසම් වැනි විද්වතුන් කළු කුමාර බැල්මට එරෙහිව පවත්වන ශාන්තිකර්ම ගැන අධ්‍යයනය කර තිබෙනවා.

කළු කුමාරයා මොන වගේද?

කළු කුමා­රයා කියන්නේ කළු පැහැති සිරුරක් ඇති, රාගා­ධික  කුමාර පෙනු­මක් ඇති බෙල්ලේ නයෙක් සහිත අත් හත­ර­කින් යුක්ත එක අතක කාන්තා­වක් ද අනෙක් අතේ දරු­වෙක් ද තවත් අතක කඩු­වක් ද දරා­ගත් රුවක් බවයි අදහස.

තමන්ගේ හිත වැටෙන සියලු ස්ත්‍රීන් වසඟයට ගෙන තමාට යටත්කර ගන්නට කළු කුමාර යක්ෂයා උත්සාහ කරනවා.  ජීවත්ව සිටින කාලයේ ඉතා රාගාධික කුමාරයකු වූ නීල මහා කළු කුමාරයා තම යක්ෂ භවයට ද ඒ ස්වභාවය රැගෙන ගොස් තිබෙනවා. කළු කුමාරයා තම ඇල්ම බැල්මට යටත් කරගත් යුවතියන්ට විවාහ වෙන්නට නොදී තම වසඟයේ ම තබා ගන්නට උත්සාහ කරනවා. කළු කුමාර දිෂ්ටිය වැටුණු යුවතියන්ගේ විවාහ ප්‍රමාද වන බවත්,  බොහෝ විට විවාහ නොවී ගෙදර නාකිවන්නට සිදුවන බවත්, විවාහ වුවත් විවාහ දිවියේ සතුටක් භුක්ති විඳින්නට නොලැබෙන බවත්  දරුපල වාසනා අහිමි වී යන බවත් විශ්වාස කෙරෙනවා.

සත් සමුදුරින් එතෙර කළු ගල් දුව නැමැති ස්ථානයක මාඉලුක් රන්විමනක ජීවත් වූ කරඬුබානා නමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදු වූ බැව් පැවසෙනවා. කළු කුමාරයා ගැන කියවෙන කවි රාශියක් ද ශාන්තිකර්මවල දී අහන්නට ලැබෙනවා:

මල්වර වෙලා ඉස්‌ නානට යන ගමනේ

මනකල් වෙලා හඬ තලමින් නානතුනේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ

ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේකළු කුමාර බැල්ම

කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ට ද විශේෂ ගිජු කමක් දක්වන බව කියනවා. තරුණියක් නිවසින් පිටතට යන විට  යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේ ද මේ යක්ෂයාගේ බැල්මෙන් වලකින්ට යි. කළුකුමාර බැල්මක්  සිදුවූ පසුව උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම කල්පනා කරමින් සිටීම ආදී රෝග ලක්ෂණ දැක ගැනීමට ලැබෙන බව යි පැවසෙන්නේ.

කළු කුමාරයා ගැබිනි කාන්තාවන්ගේ  ගැබ් ගත් කළල විනාශ කිරී­මට කටයුතු කරන බවත්,  දරු උප­තින් පසු වැදුම් ගෙයි සන්නිය, අධික රුධිර වහ­නය ඇති­වී­ම  වගේ ම කාන්තා­ව­නට දරු උපත් ඇති නොවී­මට විවිධ උප­ද්‍රව සිදු­ ක­රන බවත් පැවසෙනවා.  

තනි­පං­ග­ලමේ දිය­ක­ඩිති අසල හැසිරෙන මල්වර වූ යුව­ති­යන්ට, මාස් ශුද්ධිය ඇති දව­ස්වල ඇඳුම් එළි­ම­හනේ වැනී­ම කරන තරුණියන්ට වගේ ම ගොම්මනේ රෙදි සෝදන, ගොම්මනේ එහෙ­මෙහෙ යන එන කාන්තා­ව­නට වගේ ම පිරිමි උද­වි­යට ද මේ යක්ෂ­යා­ගෙන් යම් බල­පෑම් ඇති­වන බවට ගැමි ශාන්ති­කර්ම සාහි­ත්‍යයේ විශ්වාස පව­ති­නවා.

ශාන්තිකර්ම සාහිත්‍යයට අනුව  අලුයම් කාලයේ, මධ්‍යහ්නයේ, සන්ධ්‍යා යාමයේ රාත්‍රියේ දුර්වල සිත් ඇති ව තනි ව නිදන ස්ථානවල කළු  කුමාරයා සැරිසරනවා. ළිං, ඇළවල්, ජල ස්නාන,ජල පීලි,ගං ඉවුරු, වැව් ඉවුරු වැනි තැන්වල හුදෙකලාව ජලස්නානය කරන විට හෝ දිය පිරි කළ උකුලේ තබාගෙන එන විට ද කළු කුමාර දෝෂය ඇතිවිය හැකි යි. එමෙන් ම ගස්ගෙඩි කැඩීම, ළඳු කැළෑවල තනිව ම යාම, කඩුල්ල, හන්දි, පිට්ටනි, මල් උයන්, වන වදුළු, හේන්, පැළ, කෙත්බිම්, කමත වැනි තැන්වලදී ද  කළු යක්ෂයාගේ දිෂ්ඨියට ලක්‍ වීමට ඉඩ තිබෙනවා.

කළු කුමා­ර­යාගේ උත්පත්ති කතා පහක්

සෙංක­ඩ­ගල කළු­ කු­මාර උපත, උඩු­ග­ම්පළ කළු­ කු­මාර උපත, බොක්සැල් උපත, රට යකුම, නිල මදන කළු­ කු­මාර උපත ලෙස කළු කුමා­ර­යාගේ උත්පත්ති කතා පහක් පමණ ශාන්ති කර්ම සාහි­ත්‍යයේ හමුවෙනවා.  සෙංක­ඩ­ගල කළු­කු­මාර උප­තට අනුව මහ­නු­වර යුගයේ රජ කෙනෙක් වටා කතාව ගෙතී තිබෙනවා. මේ රජුගේ පුතා කොණ්ඩ කුරු­ල්ලකු හිර­ක­ර­ගෙන මැරූ බවත්, ඒ සිදු­වීම නිසා රජු තම පුතාගේ බෙල්ල කපා කුමරා විනාශ කළ බවත් පැවසෙනවා. මිය ගිය කුමරා මර­ණින් පසු දේව­ත්ව­යට පත් ව කළු ­කු­මාර දෙවි­යන් බවට පත් වුණා කියලා ඔවුන් විශ්වාස කර­නවා.

කළු කුමා­රයා හඳු­න්වන නම් රාශියක් හමුවෙනවා.  ඒ නම් පවා පළා­තෙන් පළා­තට වෙනස් වෙනවා. සබරගමුවේ මේ යකා හඳුන්වන්නේ වටකුමාර හෝ සිද්ධන්ත කළු කුමාර නමින්.  නීල මදන කළු කුමාර, කළු කුමාර දේව­තාවා, කළු සාමි, රට යකා, සන්ති කුමාර, වෙල්ලස්සේ බණ්ඩාර, මන­මා­ලයා, කඩ­වර, කළු යකු වගේ තවත් නම් ගණ­න­කින් කළු ­කු­මා­රයා හඳු­න්ව­නවා. ඒ වගේ ම කළු කුමා­ර­යාට තවත් අව­තාර හතක් ඇති බවත් සඳ­හන් වෙනවා. අඳු­න්කු­මාර, මල්කු­මාර, වාත කුමාර, සපු­ම­ල්කු­මාර, සොහොන් කුමාර ආදී වශ­යෙන්.නීල මදන කළු කුමාර උත්පත්ති කතා­වට අනුව කළු­ කු­මාර උපත සිදුව ඇත්තේ  ගජබා රජුගේ කාලයේ දියි.

ගජබා රජු කල මේ රට ඉන්දි­යාවේ රජකු ආක්‍ර­ම­ණය කර තිබෙ­නවා. මෙහිදී ලංකාවේ දෙළොස් ‍දහසක් දෙනා වහ­ලුන් ලෙස ඉන්දි­යා­වට රැගෙන යනවා. මේ පිරිස ගලවා ගන්නට ගජබා රජු නීල මදන කුමා­රයා සමඟ ඉන්දි­යා­වට මුහුද දෙබෑ­කර ගෙන ගිහින්. ඉන්දි­යාවේ රජු හා සටන් කර ලංකා­වෙන් ගෙන ගිය දොළොස් දහ­සක සේනාව වගේ තවත් වැඩි­පුර දොළොස් දහ­සක සේනා­වක් ද ගෙන නැවත ලංකා­වට එන ගම­නේ දී මේ නීල මදන කුමා­රයා ඉන්දි­යාවේ එක් ගම්මා­න­යට ගොස් තිබෙ­නවා. එහි සිට ඇත්තේ කාන්තා­වන් පම­ණයි. ඔවුන් පිරි­මි­යෙක් දැක තිබු­ණේ ම නැතිලු. මේ නිසා නීල මදන කුමා­ර­යාට ඇති වූ ආශාව නිසාම කාන්තා­වන් ඔහු අත­පත ගාන්න පටන් අර­ගෙන. මෙතැන දී ‍කාන්තාවන් ගෙන් වුණු අන්ත දුක් පීඩා නිසාම නීල මදන කුමා­රයා මිය ගොස් තිබෙන්නේ කාන්තා­වන් කෙරෙහි ඇති­වුණු වෛර­යෙන්. මෙයින් පසුව ඔහු කළු කුමා­රයා වෙලා ඉප­දුණු බවට මත­යක් විශ්වා­ස­යක් පව­ති­නවා.

කළු කුමාර සමයම

කළු කුමාර බැල්මෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට පහතරට පවත්වන ප්‍රධාන ශාන්ති කර්මයක් වන්නේ රටයකුම හෙවත් රිද්දි යාගය යි. එය පවත්වන්නේ ගර්භ රක්ෂණ පූජාවක් විදිහට යි. කාන්තාවන් සඳහා පමණක් ම මෙරට පවත්වන එක ම තොවිලය ලෙසත් එය සැලකෙනවා.

රිද්දි නමින් හඳුන්වන බිසෝවරුන් හත් දෙනකු මුල්කර ගෙන පවත්වන මෙයට කළු කුමාර සමයම කියලත් කියනවා. විවාහවීමෙන් පසු දරුපල නැති කාන්තාවන්, දරුගැබ් පිහිටි කාන්තාවන්ගේ ආරක්ෂාව, දරුගැබ් විනාශ වන කාන්තාවන් ආදී හේතු සඳහා මෙම තොවිලය පවත්වනවා.

 කළු කුමාර ශාන්ති කර්මවලදී කළු කුමාර බලියක් පාවා දීම මෙහිදී කරනවා. මෙම ශාන්ති කර්මය රාත්‍රියේ ආරම්භ වී පසු දින උදේ දක්වා සිදුවෙනවා.  හැන්දෑ සම­යම, මධ්‍යම සම­යම, අලු­යම සම­යම කියලා ශාන්ති කර්ම කොටස් තුන­කින් යුක්ත යි. ඒ අයු­රින් හැන්දෑ සම­ය­මේ දී පව­ත්වන වත් පිළි­වෙත් වන්නේ ඒ පළාතේ ඇති පූජා විධි අනුව ඇදු­රන් මුලින් ම තෙරුවන් සිහි කර නම­ස්කාර කර යකු­න්ට ආරාධනා කිරීම යි. එසේ කරන්නේ යකුන් සතුටු කිරීමට පිදේනි තටු තබමින්.

මධ්‍යම සම­යමේ දී ශාන්ති කර්ම­යෙන් පුද ලබන යක්ෂයා සම්බන්ධ වත් පිළි­වෙත් ආරම්භ කර­නවා. ඒ මැදියම් දොළහ එක වන විට යි. ඒ පුද පූජා අව­සන් කළ පසු යක්ෂ­යාට එන්න කියලා අලු­යම් සම­ය­මේ දී දිග­ට ම  කවි ගායනා කරමින් වත්පි­ළි­වෙත් පුද පූජා කර­නවා. එවිට ආතු­රයා වෙත ආ යකුට යන්න කිය­නවා‍‍.

දෙවි­යන්ට පින්දෙ­නවා‍. ආතු­ර­යාට ආර­ක්ෂා­වක් සිදු කර­නවා. මෙතන දී ආතු­රයා වෙනු­වෙන් මුලින් ම අරගෙන  තැබූ කළස බිඳ දම­නවා. අලං­කාර පෙර­හ­ර­කින් කළු කුමා­රයා වෙනු­වෙන් සකස් කළ පිදේ­නිය නෑඹි­ලි­යක තබා ආතු­ර­යාගේ හිස මත තබා­ ගෙන පුද පූජා ඉටු කර­නවා. මේ එහිදි භාවිත වන කවියක්:

ළඳුන ඇස දුටිමි දරුවන් නැතුව වගේ

දෙතුන් පහස ලොබ කරවති රති රාගේ

වැඳුම් බැරිව උණ ඉසරද කර වේගේ

මුදුන් අණින් ඇර පලයන් කළු රෝගේ

0 comment
0

Related Posts

Leave a Comment