Home කාලීන පුවත් පියන් වසා ඇත්ත සෙවූ ජනේලය

පියන් වසා ඇත්ත සෙවූ ජනේලය

by Hela news

1980 දශකය යනු ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රය යහපත් මාවතක ගමන් කරමින් තිබූ කාලයකි. වාණිජ මෙන්ම කලාත්මක චිත්‍රපට ද එක සීරුවට බිහිවිය. බොහෝ සිනමා ශාලා ඉදිරිපට house-full පුවරුව නොතිබුණා නම් එහෙමත් වෙලාවක ය. අලුතින් තිරගත වන චිත්‍රපටයක් ජනප්‍රිය නළු නිළියන් මෙන්ම සටන්, ගීත, හාස්‍ය හා සියලු රසකාරක සමගින් නිමවූයේ නම් චිත්‍රපටය තිරගත වූ ආරම්භක සිනමා ශාලාවල දින 50 තිරගත වීම සුළු දෙයකි. එය වාණිජ මෙන්ම කලාත්මක චිත්‍රපට වලට ද එක සේ බලපෑ කාරණාවක් විය. සරලවම කිවහොත් ලංකාවේ සිනමාවේ හොඳම කාලය එයයි. එහෙමත් කාලයක වෙනම ආරකින් යුත් චිත්‍රපටයක් බිහිවිය. එම චිත්‍රපටයේ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද චන්ද්‍රන්රත්නම්ගේය.

දිගට දිගේ දිව දිවෙන දුම්රිය පාරේ වේගයෙන් ඇදෙන දුම්රියකි. නගරයේ තැනින් තැන ඇවිදින ජනයා අතුරින් චිත්‍රපටයේ නාමාවලිය දිගහැරේ. ඉන්පසු එය කෙමෙන් නතරවන්නේ සෙල්ලම් තුවක්කුවක් එල්ල කරගෙන සිටින වයස අවුරුදු 10 ක පමණ කුඩා දරුවකු වෙතයි. ඔහු නමින් සාලින්ද ය. චිත්‍රපටයේ ප්‍රධාන කතාව දිවෙන්නේ ඔහු වටා ය. සෙල්ලම් තුවක්කුවෙන් හතර අත වෙඩි තියන සාලින්ද දිව යන්නේ තමා වාසය කරන මහල් නිවාස සංකීර්ණයටය. මෙම චිත්‍රපටය රූගත කර තිබුණේ බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණය හා ඒ ආශ්‍රිතවය. නිවසට දිව එන සාලින්ද ආහාර සකස් කරමින් සිටි අම්මාට මහා ලොකු කථාවක් දිග හරියි.

“අම්මා ..අම්මා ..මං දැක්කා මිනිස්සු දෙන්නෙක් බැංකුව කඩනවා.. ඇහෙන්නැදද් අම්මා.. මං දැක්කා මිනිස්සු දෙන්නෙක් බැංකුව කඩනවා ..අම්මා මං කියන දේ ඇහෙන් නැද්ද “

“ඇති..ඇති..දැන් ඔය බොරු කතා නවත්තල ගිහින් මූණ හෝදගන්න. දැන් තාත්තා එනවා ඇති”

ජනේලය චිත්‍රපටය ආරම්භ වන්නේ ඒ ආකාරයටය. සාලින්දගේ මව ඔහු කියන කිසිවක් ගණනකටවත් ගන්නේ නැත. සාලින්දගේ පියා නිවසට ආ පසු ද ඔහු පිළිබඳව විමසිලිමත් නොවී ඔහුට කන් දෙන්නේ නැත. සාලින්ද නිරන්තරයෙන් බොරු කියන්නෙකි. ඒ ඔහුගේ විනෝදයයි ඔහුගේ පුරුද්දයි. චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකයා මහන්සි නොකර මුල් විනාඩි කිහිපය තුළදීම චරිත තුනක් හඳුන්වා දීමට අධ්‍යක්ෂවරයා සමත් වේ

සාලින්දගේ පියා රාත්‍රී සේවය කරන්නෙක් වන අතර ඔහු නිවසට ආපසු දෙන්නා දෙමහල්ලන් ඹවුන්ගේ සාකච්ඡාවන් අතර සැරිසරද්දී නිරන්තරයෙන් සාලින්දට සිදුවන්නේ හුදකලා වන්නටය. ඔහුගේ බොරු කීමත් එයට එක් හේතු කාරණාවක් විය .

“අම්මා මං හොරකමක් දැක්කා කියලා තාත්තට කියන්න” ඒ හා සමගම මව ඔහු වෙත කඩා පනින්නේ ඔහුගේ බොරු අසන්නට තාත්තාට කිසිත් උවමනාවක් නැති බව පවසමිනි.

“මම හැමතිස්සෙම පුතාට කියලා තියෙනවා නේද බොරු කියන්න එපැයි කියලා”

ඒ පවසන්නේ තාත්තාය

“බොරු නෙවෙයි තාත්තේ .ඇත්ත මම කියන්නේ “

“මේ බලන්න පුතා මමත් අද බැංකුවට ගියා මට කවුරුත් කිව්වේ නෑ .එහෙම සිද්ධියක් වුනා නම් පළාතම ඔය ගැන කතා කරයි” “මම දන්නෙ නෑ මේ ළමයගෙ නරක පුරුද්ද කොහොම නතර කරන්නද කියලා”‘

අවසන් කතාව අමමාගේය. හැමදාමත් සාලින්දට බරපතළ චෝදනාවන් සමඟින් කතාව අවසන් වන්නේ ඒ ආකාරයටය .සෑම දිනකම පුරුද්දට බොරු කියූ සාලින්දගේ ඇත්ත කතාව අසන්නට කවදාවත් කිසිවකුත් සිටියේ නැත. තම පවුල් වපසරිය තුළ සිටි අම්මා හෝ තාත්තා ද උනන්දුවක් දක්වන්නේ නැත. එක්තරා රාත්‍රියක ඔහු තම කාමරයේ ජනේලයෙන් දුටු දර්ශනයෙන් චිත්‍රපටයේ කතාව ඇරඹේ. ඔහු දුටුවේ මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපස කොටසේ උඩු මහලේ කාමරයක සිදුවන මිනීමැරුමකි. මඳ ආලෝක තත්ව යටතේ වුව ද ඔහු හඳුනා ගත්තේ එම ඝාතනයට සම්බන්ධ වූයේ තම මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන වීරසිංහ යුවළ බවයි. ඔවුන් එම මිනිස් ඝාතනයෙන් පසුව ප්‍රාණය නිරුද්ධ සිරුර මුහුදු වෙරළට ගොස් දැමුවාය..ඒ සියල්ල බලා සිටී සාලින්ද වහාම ගොස් මහ රාත්‍රියේම මේ බව මවට තච සැල කළාය.

“අම්මා.. අම්මා.. නැගිටින්න..නැගිටින්න මම දැක්කා ඉස්සරහ ෆ්ලැට් එකේ මිනිහෙක් මරනවා”

“මොකද පුතා.. මොකද මේ”

“එන්න මම පෙන්නන්න”

“මේ ඔයා හීනයක් දැකලද කොහෙද’

“මගේ ඇස් දෙකෙන්ම දැක්කනෙ”

” පුතාට පුළුවන්නේ ඕක මට හෙට උදේට කියන්න.. දැන් ගිහිල්ලා නිදියන්න”

“එන්න මම පෙන්නන්න”

එහෙත් සාලින්දගේ කතාව කිසිවිටෙකත් ඇය විශ්වාස නොකළේය. තම මව තමා කියූ දෙය විශ්වාස නොකළ හෙයින් පියා නිවසට එනතුරු සිට පියාට ද මේ බව ඔහු සැල කළාය . එහෙත් පියාගෙන් ද ලැබුණේ ඒ හා සමාන පිළිතුරකි. සාලින්දට ඔහු අවවාද කරන්නේ කිසිදු දිනක බොරු නොකියන ලෙසයි. සාලින්ද ද තමා දුටු දෙය කවුරුන් හෝ විශ්වාස කරන තුරු නිනව්වක් නැතිය. ඔහු නැවත නැවතත් තම මවට පවසන්නේ තමා පැවසූ දෑ බොරුවක් නොවන බවත් මිනිස් ඝාතනයක් වන බව ඔහු දුටු බවත් ය. එහෙත් අවසානයේ ඔහුට ලැබෙන දඬුවම වන්නේ කාමරයට වී සිටීමටය. සාලින්දගේ ගේ මව ඔහු කාමරයට දමා දොරවල් වසා තබන්නේ ඔහුගේ කයි කතන්දරවලින් බේරෙන්නට බැරි තැනය.

එහෙත් සාලින්දගේ මේ ඇත්ත කතාව කාට හෝ පවසන තුරු ඔහුට නිනව්වක් නැත. .කාමරයේ ජනේලයෙන් එළියට පැනගන්නා ඔහු පිම්මේ දිව යන්නේ පොලිසිය වෙතය. පොලිසිය වෙත ගොස් ඔහු දුටු සියල්ල එකක් නෑර බම්බලපිටිය පොලිසියේ ඕ.අයි.සී මහතාට පවසයි. කතන්දරය පත්තු වන්නේ එතැනිනි. පොලිසියේ ඕ.අයි.සී මහතා අදාළ නිවසට පැමිණෙන්නේ ගොඩනැගිලි පරික්ෂා කරන ලද පරීක්ෂකවරයෙකු ලෙස ය නමුත් ඔහුට එහිදී කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවේ. එහෙත් ඉන්පෙර ඔහු පැමිණෙන්නේ සාලින්දගේ ගේ මව හමුවීමටය . පොලිස් නිලධාරියාට සාලින්දගේ මව පවසන්නේ සාලින්ද බොරු කියනා බවත් එයට සමාවන ලෙසත්ය. කෙසේ වෙතත් අවසානයේ දී සාලින්දගේ මව පවසන්නේ වහාම ගොස් වීරසිංහ යුවළ ගෙන් සමාව ගත යුතු බවයි. සාලින්දගේ දැඩි අකමැත්ත මත ඔහුගේ මව සාලින්දව රැගෙන යන්නේ වීරසිංහ නිවසටයි. වීරසිංහ නිවසට ගොස් සියලු කරැණු පවසා ඔවුන්ගෙන් සමාව ගන්නා ඇය තම පුතා බොරු කියනා බවත් එයට සමාවන ලෙසත් කියයි. සංග්‍රාමය ආරම්භ වන්නේ එතැනිනි. තමා විසින් සිදුකරන ලද ඝාතනය සාලින්ද දන්නා බව අවබෝධ කරගන්නා වීරසිංහ යුවළ ඔහු පසුපස ලුහුබඳී. මේ අතරවාරයේදී පියා රැකියාවට ගිය පසු තමාගේ තනියට සිටිනා මවට කුරුණෑගලට යාමට සිදු වන්නේ ඇයගේ වැඩිමහල් සොහොයුරිය අසනීපව සිටිනා බැවිනි. මේ කරුණ නිසා පියා රැකියාවට ගිය පසුව සාලින්දට සිදුවන්නේ නිවසේ තනිව සිටීමටයි. වීරසිංහ යුවළ මේ මොහොත වන විට නිට්ටාවටම දන්නා එක් කාරණාවක් තිබේ. එනම් තමා අතින් සිදුවූ ඝාතනය සාලින්ද දුටු බවයි.

මේ නිසා කිසිවෙකුත් නොමැති රාත්‍රියක වීරසිංහ සාලින්දගේ නිවසට පැමිණෙන්නේ ඔහුව ඝාතනය කිරීමටයි. එහෙත් පුරුදු පරිදි ජනේලයෙන් පැන ගන්නා සාලින්ද දිව යන්නේ ඔවුන් ගෙන් බේරීමටයි. ඔහු පසුපස ලුහුබඳින වීරසිංහ යුවළ ඔහුව කෙසේ හෝ කුලී රථයක නංවා ගන්නේ රියදුරුට අසනීපව සිටින තම දරුවා බව හඟවමිනි. කෙසේ වෙතත් ඉන්මිදී පැනයන සාලින්ද වෙරළ අද්දර දුම්රිය මාර්ගය දිගේ ගොස් ගොඩවන්නේ ඉදි වෙමින් තිබෙන තට්ටු ගොඩනැගිල්ලකට ය . අවසානයේදී ඒ තුළ දී මිනීමරුවා වූ වීරසිංහ තට්ටු ගොඩනැගිල්ල තුළ ඇද වැටී මිය යන අතර ඔහුගේ බිරිය පොලිස් අත්අඩංගුවට පත් වේ. චිත්‍රපටය අවසානයේ විසඳුම ලැබෙන්නේ ඒ අයුරිනි.

චන්ද්‍රන්රත්නම් ලාංකේය සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් සම්බන්ධ වූයේ ආදර කතාව චිත්‍රපටය තුළිනි.ජනේලය චිත්‍රපටයේද තිර පිටපත මෙන්ම අධ්‍යක්ෂණයක ද චන්ද්‍රන්රත්නම් ගේ වූ අතර නිෂ්පාදනය ජයන්ත ජයතිලකගේය. රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, සුවිනීතා වීරසිංහ , අනෝජා වීරසිංහ සහ හඳුන්වාදෙන නළුවෙකු වූ රාසි අන්වර් ප්‍රධාන චරිත සඳහා සම්බන්ධ වූ අතර සෙසු චරිත හා සම්බන්ධ වූයේ ජයන්ත ජයතිලක, චන්ද්‍රන්රත්නම්, අශෝක පෙරේරා, ප්‍රියංකර පෙරේරා හා ශ්‍රීනාත් මල්දෙනියයි.

1987 පෙබරවාරි 27 වනදා තිරගතවූ ජනේලය චිත්‍රපටය සඳහා 1988 සරසවි සම්මාන උළෙලේදී රාසි අන්වර්ට හොඳම රඟපෑම උදෙසා වූ විශේෂිත සම්මානයක් පිරිනැමිණි. මෙම චිත්‍රපටයේ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ ප්‍රධානතම චරිත දෙක මෙන් ගැටුමට මුල් වූ සාලින්ද සහ වීරසිංහ අතර කිසිදු මොහොතක දෙබස් හුවමාරුවක් නොවීමයි .

0 comment
0

Related Posts

Leave a Comment