Home ක්‍රීඩා පුවත් පියදාස දෝණියන්ගේ අමෙරිකානු ආක්‍රමණය ජාතික කණිෂ්ට වයස් සීමාවේ ශූරියවෙයි

පියදාස දෝණියන්ගේ අමෙරිකානු ආක්‍රමණය ජාතික කණිෂ්ට වයස් සීමාවේ ශූරියවෙයි

by Hela news

සහජ අභාසය ට තාක්ෂණය එක් වූ කල විවිධ ආශ්චර්යයන් නිර්මාණය කළ හැකි ය. ශ්‍රී ලංකාව තුළ පියදාසලා මේස පන්දුවේ ආශ්චර්යයන් මැවූ හ. දැන් එම සහජ හැකියාවන් රැගත් පියදාස දියණියන් අමෙරිකාවේ ආශ්චර්යයන් මවමින් තිබේ.

නව ජීවියකු සතු දක්ෂතා අතුරින් සමහරක් ප්‍රවේණි උරුමයන් ය. තවත් සමහරක් කුඩා කල සිට ම පරිසරයෙන් උකහාගනු ලබයි. “ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ” යනුවෙන් ඇති පැරැණි කියමනෙන් ඒ බව කියාපායි.

මවගේ හෝ පියාගේ උරුමයෙන් ක්‍රීඩාව, කලාව, දේශපාලනය ආදි අනේකවිධ භාවිතාවන් මෙරට දී පමණක් නොව ලොව බොහෝ තැන්වල දී දක්නට ලැබී ඇති අතර ඒ සඳහා උදාහරණ එමට ය.

අද මෙම විශේෂාංගයෙන් අප හඳුන්වා දෙන්නේ තම මව්පිය උරුමයත් සමඟින් ක්‍රීඩාවට පිවිස අමෙරිකා එක්සත් ජනපදයේ දී ළාබාල වියේ දී ම තම දස්කම් දක්වමින් තම වයස් සීමාවේ ජාතික ශූරිය වෙමින් ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනකු ගැන ය. වැඩිමහල් සොයුරිය 11 හැවිරිදි වියේ පසුවන ටාෂියා පියදාස ය. නැඟණිය 9 හැවිරිදි ටියානා පියදාස ය.

මෙරට මේසපන්දු ක්‍රීඩාවෙන් 1995 සිට 2006 දක්වා 8 වරක් ජාතික ශූරතාව දිනා ගත් තිළිණ පියදාස මේ ක්‍රීඩිකාවන්ගේ පියා ය. ඔවුන්ගේ මව වනුයේ 1997 වසරේ දී බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියාතික තරගාවලියේ දී කාන්තා මේසපන්දු කණ්ඩායමට නායකත්වය දෙමින් ක්‍රීඩා කළ රිෆ්කා කමීල් ය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කළ තිළිණ පියදාස 1995 වසරේ දී මයිලෝ පාසල් වර්ණ ප්‍රදානයේ දී වසරේ දක්ෂත ම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය නියෝජනය කළ රිෆ්කා කමීල් 1996 වසරේ මයිලෝ පාසල් වර්ණ ප්‍රදානයේ දී වසරේ දක්ෂත ම පාසල් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා ය.

තිළිණ පියදාසට රිෆ්කා කමීල් හමුවන්නේ මේසපන්දු ක්‍රීඩාව නිසා ය. ඒ 1995 වසරේ දී ය. මොවුන් දෙදෙනා මේසපන්දු ක්‍රීඩාවේ යෙදුණ ද උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ද වරම් ලැබී ය. රිෆ්කා උසස් පෙළ විභාගයට සූදානම් වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් සමුගත් අතර, ඇය ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුවා ය.

වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වූ තිළිණ පියදාසට ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව හිමි විය. තිළිණ ක්‍රීඩාවෙන් සමුගන්නේත්, තම ජීවිතයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රිෆ්කා කමීල් සමඟින් යුග දිවියට එළැඹෙන්න්‍ත් 2006 වසරේ දී ය. 2007 වසරේ දී රිෆ්කාට පශ්චාද් උපාධිය සඳහා අමෙරිකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙන අතර, රිෆ්කා සමඟින් තිළිණ ද තම මව්බිමට සමු දී අමෙරිකාව ට සංක්‍රමණය විය.

“ලොකු දුව ටාෂියා අපේ පවුලට එකතු වන්නේ 2010 වසරේ දී. ලොකු දුවට අවුරුදු 5 දී විතර මේසපන්දු ක්‍රීඩාව පුහුණු කරන්න උත්සාහ කළා. එයාට මුලදි ඒ සඳහා එතරම් කැමැත්තක් තිබුණෙ නෑ. ඒ නිසා අතහැරියා. අවුරුදු 7 දි විතර ලොකු දුවගේ කැමැත්තෙන් තමයි ක්‍රීඩාව නැවත පටන්ගත්තේ. මම තමයි ලොකු දුවගේ මුල් ම පුහුණුකරු වුණේ. විද්‍යාර්ථයේ ක්‍රීඩා කළ ජාතික ශූරයා වූ උදය රණසිංහ අමෙරිකාවට ආවාට පසු ව ඔහුත් ලොකු දුවගේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළා. විවිධ තරගාවලි සඳහා ඉදිරිපත් වී ඇය ජය ලැබුවා.ඒ ජයග්‍රහණ ලබා ගත්තේ ලොකු දුව පුහුණුවීම්වල දි ගොඩක් කැපකිරීම් කළ නිසයි. පසුගිය ජූනි මාසයේ ලොස් ඇන්ජලීස් හි පැවැති ජාතික කනිෂ්ඨ තේරීම් තරගාවලියේ දී අවුරුදු 11 න් පහළ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 හිමි කර ගැනීමට ඈ සමත් වුණා. 13 න් පහළ ශ්‍රේණිගත කිරීම්වල අංක 4 තමයි හිමි වුණේ.

පොඩි දුව ටියානාට අවුරුදු 9 යි. ඇය මේසපන්දු ක්‍රීඩාව පටන් ගත්තේ මීට අවුරුදු 1 ½ කට කලින්. වැඩිමහල් දියණියගේ පසුපස ගමන් කරන බාල දුව ටියානා අවුරුදු 11න් පහළ ශ්‍රේණිගත කිරීම්වල අංක 6 හිමි කර ගැනීමට සමත් වුණා. දුවලා දෙන්නා ම අවුරුදු 11 න් පහළ අමෙරිකානු ජාතික පිලට එක්වුණා. කැලිෆෝනියාවේ අවුරුදු 11 න් පහළ අංක 1 හිමි කර ගෙන තමයි ජාතික තරගාවලියට ඇය ඉදිරිපත් වුණේ. ඒක අපිට ලොකු ගෞරවයක්. ලොකු දුව ජාත්‍යන්තර මේසපන්දු සම්මේලනය (ITTF) විසින් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටසටහනටත් තෝරා ගෙන තිබෙනවා.

පසුගිය දා ලාස්වේගාස් හි පැවැති අමෙරිකානු ජාතික කනිෂ්ඨ තරගාවලියේ අවුරුදු 11න් පහළ ශූරිය වෙන්න ලොකු දුව ටාෂියා සමත් වුණා. පොඩි දුව ටියානා එම තරගාවලියේ දී ම අවසන් ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට පැමිණුනා. පොඩි දුව පරාජයට පත්වුණේ මේ තරගාවලියේ අනු ශූරියට.

අමෙරිකාවට ඔලිම්පික් රන් පදක්කමක් දිනා දුන් කැලිෆෝනියා ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා මෙන් ම වර්තමානයේ අමෙරිකානු ජාතික මේසපන්දු කණ්ඩායමේ පුහුණුකාරියක වන ගාඕ ජුන් මහත්මිය තමයි ඇයගේ වර්තමාන පුහුණුකාරිනිය වන්නේ.

දුවලා දෙන්නා ම දැනට ඉගෙනුම ලබන්නේ එකම පාසලේ. ලොකු දුවට අවුරුදු 15 ක් වෙනකොට වෙනත් පාසලකට යන්න වෙනවා. අමෙරිකාවේ පාසල්වල අධ්‍යාපනයට තමයි ප්‍රමුඛතාව දෙන්න වෙන්නේ. අවුරුදු 15 න් පසු ව අධ්‍යාපනයට වැඩි කාලයක් වැය කරන්න වෙනවා. අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි දුවලා දෙන්නා මේසපන්දු ක්‍රීඩාවෙන් ද උපරිම දුරක් යාවි කියලා විශ්වාස කරනවා. ඔවුන් දෙන්නා ඉගෙනීමටත් දක්ෂතා දක්වනවා. ඉඩ කඩ තිබෙන පරිදි ක්‍රීඩාවට සහභාගි වෙලා අමෙරිකාව නියෝජනය කිරීමට තරම් සුදුසු තත්ත්වයකට පත්කිරීම තමයි අපේ බලාපොරොත්තුව.”

0 comment
0

Related Posts

Leave a Comment