Home ගොසිප් පුවත් පැය දෙකක් එක දිගට නෙට් එක ඇතුළේ රඟපෑවා.

පැය දෙකක් එක දිගට නෙට් එක ඇතුළේ රඟපෑවා.

by Hela news

පසුගියදා ඊජිප්තුවේ ශාම් එල් ෂේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනූ ‘UNTOUCH’ හි ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ බුද්ධි ලක්මාලි. ඈ අපට ඉන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතර එක් අයෙකි. ඇගේ භාවපූර්ණ රංගනයත්, ගායනයත්, නර්තනයත් ‘UNTOUCH’ ඉහළට ඔසවා තැබූ බවට අටුවාටීකා අවශ්‍ය නොවේ. ඒ සතුටත් සමග මේ දවස්වල සැරිසරන සුබුද්ධිව ‘පිනිපලස’ අප මුණ ගැසුණේ ඒ ඇගේ සතුට බෙදාගන්නටත් එක්කය.

“මා රඟපෑ නිර්මාණය හැරෙන්න අනෙක් නාට්‍ය නරඹන්න අවස්ථාව මට ලැබුණා. මේ නිර්මාණ තරගකාරී අංශයට අයත් නිසා ඒ දැක්ක නිර්මාණවල ප්‍රමිතිය ගොඩක් ඉහළයි. එතැනට රටවල් 21ත් ඇවිත් තිබුණා. මට දැනුණ පිළිවෙළට ඒ සියලු දේ උසස් තත්ත්වයේ තිබුණු නිර්මාණ. තව රටක් සමග අන්තර්ජාතික මට්ටමින් තරග වදින්න තිබුණු නිර්මාණ. තරගකාරී අංශයේ අවසන් වටයට මමත් එක්ක රටවල් හතරක් තේරුණා. ස්පාඤ්ඤය, යුක්රේන්, රුමේනියා. ඒ අනෙක් නිර්මාණ තුන තුන් විදියක්.”

එය සැබෑවක් කර ‘UNTOUCH’ අන් රටවල් අභිභවා ඒකපාත්‍ර තරග අංශයේ ජයග්‍රාහකයා බවට පත් විය. ඒ සියලු ජයග්‍රහණ පසුපස තිබෙන්නේ ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ.
“අනෙක් රටවල්වල නිර්මාණ ගැන අපට කලින් කියන්න බැහැ. ඒ නිසා පොඩි චකිතයක් මට තිබුණා. වේදිකාවට ගියාට පස්සේ අමුතු පණක් ආවා. මොන දේ තිබුණත් ඒ මොහොතේ අප ජීවත් වෙනවා. ලොකු බයක් ඇති වුණේ නැහැ. පොඩි අභියෝගයකට තිබුණේ පසුතල නිර්මාණය සඳහා භාවිත කරන පෙට්ටි තුනක්. ඒවා අපට එහේට ගෙනියන්න බැහැ. හැබැයි නෙට් ටික අපි අරගෙන ගියා. මේ පෙට්ටි ටික හදවා ගන්න වුණේ එහෙන්. එතැනදි ඇති වුණු භාෂා ප්‍රශ්නය මත හරිහැටි අදහස් හුවමාරු නොවීම නිසා අවසානයේ ලැබුණේ ලොකු පෙට්ටි කිහිපයක්. එය ලැබුණෙත් අවසාන මොහොතේ. ඒ වේදිකාවේ පෙර පුහුණුවක් කරන්න ඉඩක් ලැබුණේ නැහැ. අන්තිමට පැය භාගයක් තියලයි වේදිකාව ලැබුණේ. එතැනදියි මට අභියෝගය එල්ල වුණේ. මේ පෙට්ටි බරයි සහ ලොකුයි. අපේ වේදිකාවේදි මම මේ පෙට්ටි උස්සනවා; ඒ උඩ නගිනවා; තල්ලු කරනවා. ඒත් ඒ මොහෙතේදි ඒ පොඩිතැන් හදාගෙන, නාට්‍යයට හානියක් නොවන පරිදි රඟපාන්න මට සිදු වුණා.”

මේ සියලු දේ මෙලෙස සිදු වෙද්දී ඔවුන්ට ඒ සතිය ඇතුළේ පී.සී.ආර්. තුනකට මුහුණ දීමට සිදු විය. මේ කටයුතු සඳහා යන වියදම දරා ගැනීමට සිදු වූයේද ඔවුන්ටමය.

“අපේ වියදම පෞද්ගලිකව දරාගන්නට අපට සිදු වුණා. කිසිම රාජ්‍ය අනුග්‍රහයක්වත් අපට ලැබුණේ නැහැ. ඒ සඳහා මගේ පැත්තෙන් මට උදව් කළ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් හැමදෙනාටම ස්තුති විය යුතුයි.”

සුබුද්ධි ලක්මාලි කළ රංගනයත් සමග එහි සිටි අනෙක් නාට්‍යකරුවන්ගෙන් ඇයට ලැබුණේ මනා පැසසුමකි. බොහෝ දෙනා පැවසුවේ ‘UNTOUCH’ ජයග්‍රහණය කරන බවකි.

“රුමේනියාව අපිත් එක්ක හුඟක්ම ළං වුණා. ඒ නිර්මාණයේ රඟපෑ නිළිය අධ්‍යක්ෂවරියක්. අපි මෙහෙන් හදලා ටේලර් එකක් යැව්වා. ඒක ෆෙස්ටිවල් ඩිරෙක්ටර් ෆේස්බුක් එකේ පෝස්ට් එකක් විදියට දාලා තිබුණා. එය නිර්මාණය කරලා තිබුණේ මගේ රඟපෑමේ යම් යම් කොටස් අරගෙන. කොහොම නමුත් ඒ ටේලර් එක බොහෝ දෙනා දැකලා තිබුණා. නාට්‍යකරුවන්ගේ සමාරම්භක උත්සවයට සහභාගි වෙන්න හොටෙල් එකේ ලොබියට යන කොටම මුලින්ම කතා කළේ රුමේනියාවේ නාට්‍යකරුවන්. ඔවුන් අපේ නිර්මාණය හොඳ තැනක තියෙන බව පැවසුවා. අපිත් ඒ අයගේ නිර්මාණවලට සුබ පැතුවා. ඔවුන්ටත් පසුතලවලදි විවිධ ගැටලු මතු වුණා. ඒ වෙලාවෙදි මමත් ඔවුන්ව ධෛර්යවත් කළා. අපි හිටියේ හොඳ යහළුවෝ වගේ. අපේ නාට්‍යය වේදිකා ගත වුණාට පස්සේ ඈ ඇවිත් මට එක්වරම සුබපැතුවා.”

සුබුද්ධිට මේ නාට්‍යයේ සිය දක්ෂතා මැනවින් විදහා පෙන්විය හැකි වූවාය. ඒ සඳහා ඇය කළ කැපකිරීම් බොහොමයකි.

“මෙහි නෙට් එක පාවිච්චි කරන එකම මට අභියෝගයක් වුණා. ඒක මදුරු දැලක් නොවෙයි. මාළු අල්ලන්න පාවිච්චි කරන නයිලෝන් දැලක්. මුලින්ම ඒකට හුරුවෙන්න ටිකක් අපහසු වුණා. ඒක හයියයි. හීරෙනවා. මේ නෙට් එක ඇතුළෙයි මම රඟපාන්නේ. මගේ කොණ්ඩය ඒක ඇතුළේ හිරවෙනවා. ඉන් එළියට ඇවිත් මම බූට්ස් දෙක දාගෙන නෙට් එක උඩ ඇවිදිනවා. එතකොට එය ලිස්සනවා. ඒ සියලු දේවල් පාලනය කරගෙනයි මා රඟපෑවේ. මුලින්ම ඒක මගේ ජීවිතයේ කොටසක් කර ගත්තා. අනෙක් කාරණය මුලින්ම නාට්‍යය රඟ දක්වද්දි තිබුණු කාලයත් එක්ක මට තිබුණේ දවස් දහයක් වගේ කාලයක්. ඒ කාලය ඇතුළේ කණ්ඩායමේ අනෙක් අයගෙන් ලැබුණු සහයෝගයත් එක්ක හා මගේ භාව ප්‍රකාශනයත් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න හැකියාව ලැබුණු බවයි මට සිතෙන්නේ. මේ සම්මානය අපි හැමෝගෙම මහන්සියේ එකමුතුවක්.”

වේදිකාවේ වගේම මේ දවස්වල පුංචි තිරයෙත් ඇගේ රුව අරුම නැහැ. ඒ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘සකර්ම’ ටෙලි සිත්තමෙන්.

“මම කොහොමත් තෝරලා බේරලා වැඩ කරන කෙනෙක්. මට ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. ‘සකර්ම’ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ මීට පෙර රඟපෑ චරිතයක් නොවෙයි. මේ නාට්‍යය නරඹන බොහෝ නරඹන්නන් මට බණිනවා. ඉන් කියවෙන්නේ මගෙන් ඒ චරිතයට විය යුතු උපරිම සාධාරණයක් ඉටු වී ඇති බවයි. මෙහි අධ්‍යක්ෂවරයා මා සිහිපත් කළ යුතුයි. මොකද ඔහු වෙනස්ම විදියට හිතන කෙනෙක්. මා පැමිණි මේ ගමනේදි හොඳ ගුරුවරු මට මුණ ගැසුණා. මා මේ පැමිණි ගමන හැරෙව්වේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ඒ මගින් මුණගැසුණු රංගන ගුරුවරයා කමල් අද්දරආරච්චි. දැන් මට තවත් ගුරුවරියක් ලැබිලා තියෙනවා. ඈ බ්‍රිතාන්‍ය ජාතික ඔපෙරා ගායිකාවක්. බාබරා සීකර්. ඈ යටතේ මගේ හඬ තවත් පුරුදු කරනවා. ප්‍රොපෙසර් කාලෝ මුණ ගැසෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියට. මා තාමත් හදාරනවා. ඒ වගේම මේ දවස්වල සාගර විජේසිංහයන්ගේ ‘තරණ සීගිරි’ ඔපෙරාවේ වැඩ කරනවා.”

0 comment
0

Related Posts

Leave a Comment