Home දේශීය පුවත් පාස්පෝට් කන්තෝරුවේ තනතුරු 272කට නිලධාරීන් නෑ

පාස්පෝට් කන්තෝරුවේ තනතුරු 272කට නිලධාරීන් නෑ

by Hela news

කෝපා කමිටුවේදී හෙළි වෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 18ක් ඇතුළුව පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පෙරේදා(16) අනාවරණය විය.

මෙම වසරේ (2021) ඔක්තෝබර් මාසයේ පළමු වැනිදා වනවිට ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18ක්, තෘතියික මට්ටමේ තනතුරු 113ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121ක්, ප්‍රාථමික මට්ටමේ තනතුරු 19ක් සහ වෙනත් එක් තනතුරක පුරප්පාඩු පවතින බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම තනතුරු කඩිනමින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කළේය.

මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට බාධාවන් එල්ල වී ඇති බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

එම තනතුර පිරවීම සඳහා මේ වනවිට ඉල්ලීම් කොට ඇති බව රජයේ ගිණුම් කාරක සභාව වෙත පැමිණි නිලධාරිහූ මෙහිදී අනාවරණය කළහ. එමෙන්ම 2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමඟ එක්ව ‍ක්‍රියාත්මක කරන “ විද්යුත් සංචරණ අනුමැතිය ” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයන්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කොට නොමැති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබඳ මාස දෙකක් ඇතුළත රජයේ ගිණුම් කාරක සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා‍වේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

0 comment
0

Related Posts

Leave a Comment