Home දේශීය පුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 56කට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 56කට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට

by Hela news

පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මව්ලවි, ජෆූර් මාමා ඇතුළු ප්‍රධාන සැකකරුවන් 24කට එරෙහිව මේ වන විට අධිචෝදනා ගොනුකර ඇති බවත් තවත් 32කට මහාධිකරණ 5කදී නඩු විභාග වෙමින් පවතින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී දුරකතන ඇමතුම් සංවාද එක් ලක්ෂ දොළොස්දහසක් (112,000) පමණ විශ්ලේෂණය කර ඇති බවත් චෝදනා 23,700ක් ඔස්⁣සේ නඩු ගොණුකර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති විමර්ශන කොමිසම සහ අපරාධ විමර්ශනය ඇතුළු වාර්තා හතරක් ප්‍රහාර මාලාවට අදාළව සකස් කර ඇති බවත් මේ සියලු වාර්තා නීතිපතිවරයාගේ විශ්ලේෂණයට ලක්කර සාක්ෂි පරස්පරතාවන් හේතුවෙන් සැකකරුවන්ට නිදහස් වීමට ඇති ඉඩකඩ වැළැක්වීමට පියවර ⁣ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11දා ප්‍රහාර එල්ල කල මහ මොළකරු ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරීමට වසර 20ක් සහ 2015 දී ප්‍රංශයේදී ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන්ට නඩු පැවැරීමට වසර 07ක් වැනි කාලයක් ගතවූ නමුත් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව වසර දෙක හමාරක් වැනි කෙටි කාලයකින් කාර්යක්ෂමව විමර්ශන සිදුකර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිම සතුටට කරුණක් බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවත් තව දුරටත් විමර්ශන කරන බවත් පැවසීය

0 comment
0

Related Posts

Leave a Comment