Home උණුසුම් පුවත් පාස්කු ඉරු දින ප්‍රහාරයේ සැකකරුවන් 25ට එරෙහි නඩුව නොවැ. 23 දා කැඳවයි

පාස්කු ඉරු දින ප්‍රහාරයේ සැකකරුවන් 25ට එරෙහි නඩුව නොවැ. 23 දා කැඳවයි

by Hela news

පාස්කු ඉරු දින ප්‍රහාරයට වගකිව යුතු යැයි කියන ත්‍රස්තවාදී සැකකරුවන් විසිපස් දෙනාගෙන් 24 දෙනකුට අධි චෝදනා පත්‍ර භාර දීම කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඊයේ (04) සිදු කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් විසි හතර දෙනකු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර 15 වැනි සැකකරු රෝගී තත්වයක් හේතුවෙන් ඉදිරිපත් නොකළ බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මේ අනුව සැකකරුවන් 24 දෙනකුට අධිචෝදනා පත්‍ර බාරදීමට කොළඔ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල කටයුතු කළේය.

දේවස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා 23,270ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් අමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ සහාය ඇතිව අපක්ෂපාති විශේෂ වෝහාරික විමර්ශනයක් සිදු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය. අදාළ අධි චෝදනා පත්‍ර දෙමළ භාෂාවෙන් නිකුත් කරන ලෙස සැකකරුවන් කිහිපදෙනෙක් ඉල්ලා සිටි අතර එක් සැකකරුවකු ඉංග්‍රීසි බසින් චෝදනා පත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට මෙම අධි චෝදනා ගොනු කර ඇත.

පාස්කු දින දේවස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන අටකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හා කුමන්ත්‍රණය කිරීමෙන්, බරපතළ තුවාල සිදුකිරීම, මිනි මැරීමට තැත් කිරීම හා මිනී මැරුමට අධාර අනුබල දීම යන ත්‍රස්තවාදි ක්‍රියා ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.

දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලු විනිසුරු මඬුල්ල නඩුව නොවැම්බර් 23 යළි කැඳවීමට දින නියම කරමින් එදිනට කල් තැබීය.

0 comment
0

Related Posts

Leave a Comment