පාස්කු ඉරිදා ප්‍රහාරයේ කොමිෂන් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැඹුරු සාකච්ඡාවකින් පසුවයි

0
983

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ අගරදගුරු කාදිනල් හිමිපාණන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

එය රටේ ජාතික ආරක්ෂාවට බලපාන වැදගත් කරුණක් වන නිසා මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකයන්ගේ ද අදහස් විමසා ගැඹුරු සාකච්ඡාවකින් පසුව ඉදිරි තීරණවලට එළැඹීම රජයේ ස්ථාවරය යැයි ද හෙතෙම සඳහන් කළේය‍.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ අද සමාජය යේ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වූ අවස්ථාවේ දී සාක්ෂි රැසක් ලැබුණා. සිදු වෙන්න යන ඛේදවාචකය පිළිබඳ සියලු තොරතුරු දැනගෙන එය වැළැක්වීමට පියවරක් ගත්තේ නැහැ කියන චෝදනාව ඉදිරිපත් වුණා. මේක එක අංශයක් පමණයි. පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සියලු කරුණු විමර්ශනය කොට වාර්තාවක් සපයාදීම සඳහා පත් කළ කොමිසමෙන් ඊට වඩා තව දේවල් බලාපොරොත්තු වුණා. කවුද මේකට වගකියන්නේ? කවුද මේක සංවිධාන කළේ? බොහෝම සංකීර්ණ සංවිධාන ජාලයක් මේකට අවශ්‍ය වුණා. ඒකට කවුද මුදල් එව්වේ? අවශ්‍ය උපකරණ කොහොමද රැස් කරගත්තේ? මේ සියල්ල සම්බන්ධයෙන් කරුණු සොයා ගැනීමට කොමිසම පත් කිරීම ප්‍රධාන අරමුණක් වුණා. මේ සියල්ලක්ම පිළිබඳ සත්‍ය සොයා ගැනීම ප්‍රායෝගිකව ඉතා වැදගත් වුණා. හැබැයි ඉන් ඔබ්බට යන කරුණු කීපයක් තිබෙනවා. ඒ තමයි මෙවන් ඛේදවාචකයක් යළිත් නොවීමට වග බලා ගැනීම සඳහා රජයක් විදියට ගත යුතු පියවර කවරේද යන්න. මෙය කතෝලික ජනතාවට පමණක් නොව අපේ රටේ සමස්ත ජනතාවට වගේම රටේ ආරක්ෂාවට බලපාන කාරණයක්. මේ පිළිබඳ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද්වීතිය මෙහෙවරක් ඉටු කළා. වටිනා ජීවිත 250ක් පමණ නැති වුණා. ඒ වගේම 500කට වඩා බරපතළ තුවාල ලැබුවා. ඇත්තෙන්ම කාදිනල් හිමිපාණන් මැදිහත් නොවුණා නම් මේ රට ලේ විලක් බවට වෙන අවදානමක් තිබුණා. කටුවපිටිය හා ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ උත්සන්න වූ හැඟීම් ගින්න නිවීමට කාදිනල් හිමිපාණන් අමිල සේවයක් කළා. එය කෘතඥ පූර්වකව සිහිපත් කිරීම යුතුකමක්.

මේ කොමිෂන් සභා වාර්තාව රජයට භාර දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම තමයි දැන් ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ. පැහැදිලිව මේ ගැන තීරණ ගන්න ඕනෑ කාදිනල්තුමා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. උන්වහන්සේගේ අදහස් හා යෝජනා ඉතාමත් වැදගත්. රජයේ පැත්තෙන් යම්යම් ව්‍යාකූලතා තිබෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය හා අනෙකුත් ආගමික නායකයන්ගේ අදහස් විමසා සියලුම ආගමික නායකයන් මේ සංවාදයට සහභාගි කර ගැනීමත් ඉතාම වැදගත්. ඒ රටේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණාවක් නිසා. මේ ගැන ගැඹුරු සාකච්ඡාවකින් පසුව ඉදිරි තීරණවලට එළැඹීම සුදුසු බව අපේ ස්ථාවරයයි.

අනෙක් කාරණය එන සතියේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික සා:පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා. මාර්තු 1දා සිට මාර්තු 10 දක්වා විභාගය පැවැත්වෙනවා. දිවයින පුරාම අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදාස් තුන්සිය පස් දෙනෙක් පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4513ක්. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දීප ව්‍යාප්ත මට්ටමින් 542ක් ක්‍රියාත්මකයි. පාසල් අපේක්ෂකයන් හාර ලක්ෂ විසිතුන් දහස් හත්සිය හතළිස් හයක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් එක් ලක්ෂ අනූ අටදහස් හයසිය හය දෙනෙක් විභාගයට පෙනී සිටිනවා. කොවිඩ් ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට සමහර විට එවැනි මධ්‍යස්ථාන දෙකක් ප්‍රමාණවත් නොවීමට පුළුවන්. එවන් අවස්ථාවල දී ඊට වඩා විධි විධාන සකස් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සමඟ සෞඛ්‍ය පැත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමට අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව ප්‍රයෝජනවත් පියවර කීපයක් ගෙන තිබෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර සියලුම පාසල්වලට තැපෑලෙන් යවා තිබෙනවා. පෞද්ගලික අයැදුම්කරුවන්ට අදාළ ප්‍රවේශ පත්‍ර ලැබී නැතිනම් වෙබ් අඩවියට ගොස් ඒවා බාගත කළ හැකි ක්‍රමයක් සකස් කළා. අපේ රටේ ප්‍රථම වතාවට නම, විෂය හෝ විභාගය ලියන මාධ්‍ය පිළිබඳ සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් එය සකස් කර ගැනීමටත් වෙබ් අඩවිය හරහා විධිවිධාන සලසා තිබෙනවා. අපේ ප්‍රධාන අරමුණ තමයි දූ දරුවන්ගේ කාලය නාස්ති නොකර අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වන පරිදි සතුටුදායක වැඩපිළිවෙළක් සැකසීමයි. අපි බලාපොරොත්තු වෙනවා මේ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසය වනවිට නිකුත් කිරීමට. එතකොට ජූලි මාසයේ දී පුළුවන් වෙනවා උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත්. මෙවැනි දුෂ්කර තත්ත්වයක් හමුවේ පවා මේ ළමයින්ගේ කාලය අපතේ නොයවා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාම තමයි අපේ වැඩපිළිවෙළ වෙන්නේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා-

අපේ රජය පිහිටුවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්‍රයකම ඉන්න විද්වතුන් හා ප්‍රවිණයන් ගෙන්වා මේ රට දියුණු කරන්නේ, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කියා සොයා බලා මේ රටේ ජනතාවට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වෙලාවේ ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම. මේ වැඩපිළිවෙළින් අපේ රටේ අනාගතය ගොඩ නගන වැඩසටහන පිළිබඳ රටේ ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. අපි රජයක් හැටියට කටයුතු කරමින් යන්නේ ඒ පොරොන්දු වූ ක්‍රියාවලියයි. විවිධ චෝදනා එල්ල වෙනවා විපක්ෂයෙන්. එම්. සී. සී ගිවිසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී අපි ඒ චෝදනා පුස්සක් බව ඔප්පු කළා. ඒ වගේම කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ද චෝදනා රැසක් එල්ල කළා. මේ එන්නත ගෙන්වන්න බැරි වෙන තැනට චෝදනා කළා. නමුත් ලෝකයේ අති බහුතරයක් රටවල්වල එකඳු පුද්ගලයෙකුටවත් එන්නතක් ලබාදීමට නොහැකි වී තිබෙන තත්ත්වයක් යටතේ අපේ රජය සමත් වී තිබෙනවා වැඩි අවදානමක් තිබෙන කණ්ඩායම්වලට එන්නත ලබාදීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබාදීමට. රජයක් හැටියට ඉදිරියට යද්දී අපට හැම තිස්සේම ගන්න තීරණ ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීරණ නිර්භයව අරගෙන අපි රජයක් විදියට ඉදිරියට යනවා. ඒ වගේම ඒ තීරණවලට එකඟ නොවෙන පුද්ගලයන් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා ජනතාවට කියන්නේ ඔබ පත් කරපු ආණ්ඩුව ඔබ බලාපොරොත්තු වූ කර්තව්‍ය ඉටු කරමින් සිටිනවා. කියමනක් තියෙනවා, තවලම යද්දී පාරේ බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා. ඒ වගේම අපේ වාහනය ශක්තිමත්ව සංවර්ධන මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. අපට බල්ලෝ බිරුවට බල්ලන් පන්න පන්න ඉන්න වෙලාවක් නැහැ. අපේ ගමන අපි යනවා. අපේ ගමන තීරණය නිවැරැදි කියා තීරණය කළ යුත්තේ රටේ ජනතාවයි. විවිධ කණ්ඩායම් නඟන බොරු චෝදනාවලට රැවටෙන්න එපා කියා ජනතාවගෙන් අපි ඉල්ලනවා. ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට පොදුජන පෙරමුණ ඇප කැප වී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here