Home උණුසුම් පුවත් පාසල්වල සියලු ශ්‍රේණි නොවැම්බර් මුල් සතියේ ඇරඹීමට සැලසුම්

පාසල්වල සියලු ශ්‍රේණි නොවැම්බර් මුල් සතියේ ඇරඹීමට සැලසුම්

by Hela news

එළඹෙන නොවැම්බර් මස මුල වන විට පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

රට පුරා පාසල් සියල්ලම අදියර කිහිපයක් යටතේ නොවැම්බර් මාස‍යේ මුල් සතිය වනවිට ආරම්භ කරන අතර, ලබන 21 දා සිට පළමු අදියර ලෙස පාසල් තුන්දහසක් විවෘත කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

කොවිඩ් තත්ත්වය යටතේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රමිතිය කිසිසේත් වෙනස් කිරීමට කටයුතු නොකරන අතර, ඒ වෙනුවට ඒ සඳහා විෂය ආවරණයට සහ විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට අමතර කාලයක් දෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. පාසල් දින දර්ශනය කැලැන්ඩරය අනුව 2020 වසරේදී දින 210ක් පාසල් පැවැත්විය යුතු වුවත් 2020 වසරේ පාසල් පැවැත්වීමට හැකි වූයේ දින 65ක් පමණක් බවත් 2021 වර්ෂයේ බස්නාහිර පළාතේ දරුවන්ට පාසල් පැවැත්වීම‍ට හැකි වූයේ දින පහක් පමණක් බවත් ඇමැතිවරයා කීය.

කෙසේ වුවද අනෙකුත් පළාත්වල දරුවන්ට ‍2021 වසරේදී පළමු වාරය පැවැත්වීම‍ට හැකි වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද නොවැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වන බවත් විෂය ආවරණ කටයුතු හා විභාගයට සූදානම් වීමට දරුවන්ට සාධාරණ කාලයක් ලබා දෙන බවද හෙතෙම පැවසීය. මේ වනවිටත් විෂය මාලාව කොපමණ දුරට ආවරණය වූයේද යන්න සම්බන්ධයෙන් පළාත් මට්ටමින් තක්සේරුවක් කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment