පාපන්දු නිලවරණය දින නියමයක් නැතිව කල් යයි

0
216

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය දින නියමයකින් තොරව කල්යයි. ඒ අනුව එළැඹෙන 1 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු නිලවරණය ජූනි 7 වැනිදා සංචරණ සීමා ඉවත් කළ පසුව පැවැත්වීමට දිනයක් යොදා ගන්නා බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා ‘දිනමිණ’ට පැවසීය. එළැඹෙන 7 වැනිදා සංචරණ සීමා පැනවීම නිමා වුවහොත් එදිනට හෝ පාපන්දු නිලවරණය පැවැත්වීමේ හැකියාව සොයා බලන බව ද ඒ මහතා කියා සිටියේය. මේ නිලවරණ කල්දැමීම පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතය.

කොරෝනා වසංගතය හමුවේ මුලින් පළාත් අතර, සංචරණ සීමා මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව නිවේදනය කළ හෙයින් පාපන්දු නිලවරණය ලබන 1 දා දක්වා කල් දැමීමට තීරණය කෙරිණි. මේ නිලවරණය රහස් ඡන්දයෙන් පැවැත්වෙන හෙයින් සංචරණ සීමා මැද විශේෂ අවසර පත්‍රයකින් කොළඹට පැමිණීමට සිය ඡන්දදායකයන්ට අවස්ථාව දෙන ලෙස පාපන්දු සම්මේලනය ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

පාපන්දු නිලවරණය මේ මස 31වැනිදා පැවැත්වීමට කලින් දින නියම කොට තිබිණි. පවතින තත්ත්වය හමුවේ පාපන්දු නිලවරණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත වූ අතර, එය කලින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුුතු කර තිබිණි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් පරිපාලනය මේ මස 31 වැනිදායින් අවසන් වන අතර, දැනට සිටින සියලු නිලධාරීන්ගේ නිල කාලය එදින අවසන් වේ. ඒ සමඟම තාවකාලික පියවරක් ලෙස අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට හැකියාව පවතී.

පාපන්දු නිලවරණයේ සියලු තනතුරු සඳහා වැඩි පිරිසක් නාමයෝජනා භාරදීම හේතුවෙන් ප්‍රබල තරගකාරීත්වයක් හටගෙන ඇති අතර, සභාපති තනතුරට වත්මන් ලේකම් ලේකම් යූ.එල්. ජස්වර්, පාපන්දු වෛද්‍ය කමිටුවේ වත්මන් සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු හා හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ යන මහත්වරු නාම යෝජනා භාරදී ඇත. මෙයින් රංජිත් රුද්‍රිගූ මහතා තම නාම යෝජනාව අවසන් මොහොතේ ඉල්ලා අස් කර ගෙන ජස්වර් මහතාට සහාය දෙනු ඇතැයි පැවසේ.

ලේකම් තනතුරට වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා ඉදිරිපත්ව ඇති අතර, යාපනය පාපන්දු ලීගයේ ආර්නෝල්ඩ් එමානුවෙල් හා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලී හේවගේ යන මහත්වරු ද ඉදිරිපත්ව සිටිති.

උප සභාපති තනතුරු 4කට දස දෙනකු නාමයෝජනා භාරදී තිබීම කැපී පෙනෙන අතර, සභාපති තනතුර සඳහා නාමයෝජනා භාරදී සිටින යූ.එල්. ජස්වර් හා රංජිත් රුද්‍රිගූ යන මහත්වරු ද සිටීම විශේෂත්වයකි.

පාපන්දු නිලවරණයෙන් පත් වන නව නිලධාරී මණ්ඩලයේ ධුර කාලය වසරකට සීමා වන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා ලිපියක් මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා වෙත දැනුම්දී තිබියදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නා තුරු මාස දෙකක කාලයක් නිලවරණය නොපවත්වන ලෙස ඉල්ලා සිටියද ක්‍රීඩා ඇමැතිවරයා එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here