Home ක්‍රීඩා පුවත් පාකිස්තානයේ අපරාජිත ගමනට තිත තබා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට

පාකිස්තානයේ අපරාජිත ගමනට තිත තබා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට

by Hela news

මැතිව් වේඩ් සහ මාකස් ස්ටොයිනිස්ගේ සටන්කාමී පිති හරඹය හේතුවෙන් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්තාන පිල තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් මහා තරගයට එක් වීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් විය.

ඔස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට එක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, 2010දී අනුශූරතාවෙන් සෑහීමට සිදුව තිබිණි. එවර ද අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ පාකිස්තානය පරාජයට පත් විය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුව පහර දෙමින් පාකිස්තානය දුන් ලකුණු 177ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දු වාරයක් ඉතිරිව තිබියදී ජය අත් කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

නායක ආරොන් ෆින්ච් ලකුණු නොලබා දැවී යෑමෙන් පසු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් එක්ව කණ්ඩායමේ ජයග්‍රාහී මාවතට අඩිතාලම දැම්මේ ලකුණු 51ක සබඳතාවක් සමඟිනි. මාෂ් ලකුණු 28කටත්, වෝනර් අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදීත් දැවී ගිය අතර, පුනරූපණවලින් පෙනී ගියේ වෝනර්ගේ පිත්තේ පන්දුව නොගැටී කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් විසින් රැක ගත් බවයි.

මේ පිතිකරුවන් දෙදෙනා සමඟින් මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනකු දවා ගනිමින් ඔස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කිරීමට ශදාබ් ඛාන් සමත් වුවත් 6 වැනි කඩුල්ලට පිටියේ එක් වූ මාකස් ස්ටොයිනිස් සහ මැතිව් වේඩ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු 41කින් ලකුණු 81ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමිනි.

ඉනිමේ 19 වැනි ඕවරයේ අවසන් පන්දු 3ට හයේ පහර 3ක් එල්ල කළ මැතිව් වේඩ් නොදැවී ලකුණු 41ක් රැස් කළේ පන්දු 17කිනි. පන්දු 31කට මුහුණ දුන් ස්ටොයිනිස් ලකුණු 40ක් රැස් කළේය.

ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට පෙර දුන් උඩ පන්දුව ඩේවිඩ් වෝනර් අතින් ගිලිහී යෑමෙන් උපරිම ප්‍රයෝජන ගත් පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් අර්ධ ශතක සබඳතා දෙකකට පසු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 67ක් රැස් කර තිබිණි.

නායක බාබර් අසාම් (39) සමඟින් පළමු කඩුල්ලට ලකුණු 71ක් (60) එක් කළ ඔහු දෙවැනි කඩුල්ලට ෆකාර් සමාන් සමඟ එක්ව ලකුණු 72ක් රැස් කළේ පන්දු 46කිනි. රිස්වාන් දැවී යෑමත් සමඟ ක්‍රියාත්මක වූ සමාන් පන්දු 32කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 55ක් රැස් කළේය. මේ පිතිකරුවන් දෙදෙනාම හතරේ පහර 3 බැගින් සහ හයේ පහර 4 බැගින් එල්ල කර තිබිණි.

පාකිස්තානය 176/4 (ඕවර 20) මොහොමඩ් රිස්වාන් 67, ෆකාර් සමාන් නොදැවී 55, බාබර් අසාම් 39 (මිචෙල් ස්ටාක් 38/2)

ඔස්ට්‍රේලියාව – 177/5 (ඕවර 19) ඩේවිඩ් වෝනර් 49, මැතිව් වේඩ් නොදැවී 41, මාකස් ස්ටොයිනිස් නොදැවී 40 (ශදාබ් ඛාන් 26/4)

0 comment
0

Related Posts

Leave a Comment