Home ගොසිප් පුවත් ප්‍රේමයේ මායා දැලෙන් මා සිත් නුවන් බඳවා තබන්නී

ප්‍රේමයේ මායා දැලෙන් මා සිත් නුවන් බඳවා තබන්නී

by Hela news

අප ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො කෙල්ලො අතරේ අපූරු වචනයක් තිබුණා. ඒ තමයි ‘මනෝ ගැහීම‘ කියන එක. කවුරු හරි තනියෙන් කල්පනා කරනවා දකින කොට තව කෙනෙක් කියනවා “ඒයි මනෝ ගහන්න එපා“ කියලා. තමන් තනිවෙලා ඉඳගෙන කුමක් හෝ දෙයක් ගැන දිගින් දිගට ම කල්පනා කරනවට තමයි මනෝ ගහනව කියන්නෙ. ඔය වයසෙදි තරුණයකු නම් තරුණියක ගැන තමයි මනෝ ගහන්නෙ.

තමන් සමඟ කතා බහවත් නොකළ තරුණියකට මනසින් ප්‍රේම කරලා, ඇයව විවාහත් කරගෙන දරු පැටවුනුත් හදලා තමයි මේ මනෝ ගැහිල්ල ඉවර වෙන්නෙ.

හැබැයි ඒ මනෝ ලෝකෙ හරිම සුන්දරයි. කාටවත් හිංසාවක් නෑ. සමහර වෙලාවට මේ මනෝ ලෝක යථාර්ථයක් බවට පත්වෙන වෙලාවල් තියෙනවා. ඒ ඉතින් ලබා උපන් හැටියට. මොනව වුණත් මේ කල්පනා ලෝකය හරිම සුන්දරයි.

අජන්තා රණසිංහයන් මේ ඉස්මතු කරන්න හදන්නෙ ඒ කල්පනා ලෝකෙ සුන්දරත්වය. මගේ මතකයන් වසර තිස් දෙකක් පමණ ඈතට දිව යනවා. මං ඒ කාලෙ අජන්තා රණසිංහයන්ගෙ නිවසෙ නේවාසිකයෙක්. පදිංචි වෙලා හිටියෙ බැද්දගානෙ රස්සාව කළේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ එතුමන් හුඟක් වෙලාවට සින්දු ලියන්නෙ පාන්දර. මං නැගිටලා සාලෙට එනකොට එතුමන් කෑම මේසෙට වෙලා සින්දු ලියනවා ඔය අතරෙ එතුමන්ගෙ බිරිය තේ එකක් අරගෙන එනවා. ඒත් එතුමන් ඉන්නෙ කල්පනා ලෝකෙ.

“කල්පනා ලොව මල් වනේ

සිහින රජ දහනේ

ආදරේ…

ඇත්තට ම මේ කල්පනා ලොව පිරිල තිබෙන්නෙ ප්‍රේමය පිළිබඳ සිතුවිලිවලින් නම් එය මල් වනයක් තමයි. අදත් තරුණයෙකු හෝ තරුණියක දීර්ඝ දුරකථන සංවාදයක නිරතවෙලා ඉන්න කොට අනික් අය ඒ අවස්ථාව හඳුන්වන්නෙ ‘මල් කඩනවා‘ කියලා. කල්පනා ලොව මල් වනයක් නම් මල් කඩන්නත් නිදහස තියෙනවා. හැබැයි මේ කල්පනා ලෝකය මුලින් කිව්වා වගේ සිහින රජ දහනක්. තමන්ට කැමති ආකාරයේ හීන දකින්න පුළුවන්.

“සුන්දරත්වයෙන් පිරුණු ම හීනේ

නෙත් දෙකින් අරන් එනු මැන සඳ පහනේ

ඒ සිහින තාත්වික නොවෙන්න පුළුවන්. ඒත් අපූරුයි.

“වැහි වලාකුළෙන් පැල්පත සාදන්නයි

කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි

(ප්‍රේමකීර්ති)

මෙහි කථකයා තමන්ගෙ පෙම්වතියගෙ දෑස් දකින්නෙ තාරකා ලෙසින්. ඔහු මනසින් ඒ දෑස් විඳිනවා. ඒ දීප්තියෙන් ඔහු වශී වෙලා. මට සේකරයන්ගෙ රචනයක් මතක් වෙනවා.

ඈත අහසේ තාරුකා සේ

වශී කර මා සිත සිනාසේ

දුරක සිටියත් ළඟක සිටියත්

ඔබේ ඇස මට නිබඳ සිහිවේ

අජන්තා රණසිංහයන් තම මනෝ ලෝකය තුළ ඇගේ දෑස් මෙසේ සිතුවම් කරනවා.

නීල අහසේ තාරුකා සේ

ඈ නුවන් දල්වා බලන්නී

ප්‍රේමයේ මායා දැලින් මා

සිත් නුවන් බඳවා තබන්නේ

ප්‍රේමය පිළිබඳ යම්කිසි අවබෝධයක් මේ පෙම්වතා සතුව පවතිනවා. එය මායා දැලක් බව ඔහු දන්නවා. ප්‍රේමය මායා දැලක් වුණත් නොවුණත් නව යෞවන යෞවනීන් ඒ දැලේ පැට­‍ෙලනවා. මොකද ඒ දැල ඒ තරම්ම සුන්දරයි. සිත වගේම ඇසත් ඒ දැලේ බැඳෙනවා. නවත්වන්න අමාරුයි.

පාසල්වියේ ප්‍රේමයට වැඩිහිටියන් තහංචි දමන එක් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ තමා හිත එකඟ කරගෙන අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නට බැරි වෙයි කියන බය. ප්‍රේමකීර්ති ලියපු වචන පෙළක් මට මේ වෙලාවෙ මතක් වෙනවා.

“නේවාසිකාගාරේ

පොත් අතර රැ‍දෙන බව දනිමී

ඔබෙ සිත මා ළඟ හින්දා

ඔබෙ සිතට ඔබ කියන්න මිහිරියෙ

ආපසු එන්න කියා…

මේ තරුණයා ඒ ඇබැද්දියට ප්‍රායෝගිකව මුහුණ දෙන හැටි අජන්තා රණසිංහයන් ලියන්නෙ මෙහෙමයි.

මා වටා සහසක් යුගත් පා

ඈ රුවින් පිළි රූ මැවීලා

පාව යයි මුළු ජීවිතේ සුදු

මීදුමෙන් දැවටී එතීලා…

හින්දි චිත්‍රපටයක වගේ අපූරු චිත්‍රයක් මේ ගීතය තුළ මැවෙනවා. ඇගේ පිළිරුව ගුණාකාර ක්‍රමක්‍රමයෙන් වැඩිවෙලා ඔහුට පේන්න ගන්නවා. එතකොට ජීවිතයට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. කොටින්ම කියනව නම් ජීවිතය සුදු මීදුම් වලාවක් මත පාවෙනවා වගේ.

ජීවිතය දුක්ගැහැටවලින් පිරුණු තැනක් බව ඇත්ත. ඒත් අපට ඒ ගැන සිතමින් ම ජීවත්වෙන්න බැහැ. විඳවන්න පෙර ජීවිතය විඳින්නත් අපි ඉගෙන ගන්න ඕනෑ. ආදරය, සෙනෙහස එහි තිබෙන රොමැන්ටික් ජීවය අප අත්විඳිය යුතුයි. ඉතින් ඔබ ඔබේ පාරාදීසයට මනසින් වුණත් සැරිසරන්න ආදර ඔබ අත් නොහැර යනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment