ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් ලෝකඩ සම්මාන දිනයි

0
31

තේ බෑග් ටැග් සහ කවර මුද්‍රණයෙහි ප්‍රමුඛයකු වන සී/ස ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම 28 වැනි වාර්ෂික NCE අපනයන සම්මාන උලෙළේදී අපනයන සැපයුම් අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජාතික අපනයන මණ්ඩලය සංවිධාන කළ සම්මාන උලෙළ පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. “මේ ජයග්‍රහණය ප්‍රිමියර් පැකේජිං සමාගමේ කෙටි ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වශයෙන් හැඳින්විය හැකියි. සම්මාන දිනා ගැනීමට නන් අයුරින් දායක වූ කාර්ය මණ්ඩලයේ හෘදයාංගම කැප වීම වෙනුවෙන් මාගේ කෘතඥතාව පුද කරනවා.” ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත කරුණාරත්න මහතා පැවසීය.

ඉම්පීරියල් ටීස් සමූහයේ ශාඛා සමාගමක් ලෙස 2012දී ඇරඹි ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් ප්‍රමුඛ පෙළේ තේ බෑග් නිෂ්පාදන හා අපනයන සමාගම්වලට තේ බෑග්, ටැග් සහ කවර මුද්‍රණය කරයි. ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් නවීන අධි තාක්ෂණික යන්ත්‍ර සපිරි ප්‍රධාන මුද්‍රණාලය කැලණියෙහි පිහිටා ඇති අතර කඩදාසියේ දෙපසම ෆ්ලෙක්සෝ මුද්‍රණය, පාර ජම්බූල වාර්නිෂ්කරණය ඇතුළු නවතම මුද්‍රණ හැකියාවන් රැසක් එය සතුය. රීවයින්ඩින්, ඔන්ලයින්/ඕෆ්ලයින් ස්ලිටින්, ජම්බෝ පේපර් ස්ලිටින් යන පහසුකම්ද එහි ඇත. එමෙන්ම සේවාදායක අවශ්‍යතා අනුව දිවයිනේ දැනට භාවිත වන ඕනෑම තේ බෑග් නිෂ්පාදන යන්ත්‍රයකට ගැළපෙන පරිදි වර්ණ රැසකින් තේ බෑග් ටැග් හා කවර මුද්‍රණය කිරීම සමාගමේ සුවිශේෂත්වයකි. පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව රැක ගනිමින් උසස් තත්ත්වයේ සේවාවක් පවත්වා ගැනීමට ඇප කැප වූ ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් ISO 22000:2018 තත්ත්ව සහතිකය දිනා ඇති අතර මුද්‍රණ ශිල්පයේ විසි වසරකට වැඩි අත්දැකීම් ලත් 25කට අධික පලපුරුදු කාර්ය මණ්ඩලය, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සකසා ගැනීමේ සිට බෙදා හැරීම් සේවාව දක්වා ආයතනයේ සියලු කටයුතු කිරීමට ඇති හැකියාව හා සේවක මහතුන්ගේ කැප වීම සමාගමට අමතර ශක්තියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here