Home කාලීන පුවත් ප්‍රශ්නවලට පෝර දැමීම

ප්‍රශ්නවලට පෝර දැමීම

by Hela news

මේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට මෑතකදී තමන් දන්නා හඳුනන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මුණගැසුණේය. මාධ්‍යවේදියා දේශපාලනඥයා දුටු ගමන් ඇසුවේ මොකද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නෙ කියාය.

ඇයි මොකක්ද ප්‍රශ්නෙ?

එක ප්‍රශ්නයක්ද…. බලන්න රටේ හැමතැනම ගොවියො පාරට බැහැලා පෝර ඉල්ලනවා. පෝර විතරක් නෙවෙයි ආණ්ඩුවත් එක්ක දැන් දැන් ගේමක් ඉල්ලනවා. ගහන ගහන ගැසට් රිවර්ස් වෙනවා. රටේ හාල් මිල සතියෙන් සතිය වැඩිවෙනවා. පොඩි ගණංවලින් නෙවෙයි කිලෝ එක රුපියල් 30න් 50න් වගේ වැඩිවෙන්නේ. සීනි වැඩි ගාණටවත් හොයාගන්න නෑ. පරිප්පු ගිනි ගණං. සිමෙන්ති ගාණ වැඩි කළත් ඒ ගාණවටත් හොයාගන්න බෑ. ඇඳුම් පැළඳුම් අනෙක් බඩු භාණ්ඩවල මිලත් හොඳටම නැගලා. ගුරුවරු ඉස්කෝලවලට උගන්වන්න ආවාට ඒ ගොල්ලන්ගේ සටන හැමදාම දකින්න තියෙනවා. මාධ්‍යවේදියා දිගටම කියාගෙන ගියේය.

දේශපාලනඥයා දුන්නේ දීර්ඝ පිළිතුරකි.

මම මේ ආණ්ඩුව බලයට ගේන්න පාරට බැහැලා වැඩකරපු ග_ප් ගාණක් එක්ක සමීපව හිටපු කෙනෙක්. ඔයා ඔය දකින්නේ ජනතාව මුහුණදීලා ඉන්න ප්‍රශ්න. මම දකිනවා ඔයිට වඩා බරපතළ දේශපාලන ගැටලු ගාණක මේ ආණ්ඩුව හිරවෙලා ඉන්න බව. දැන් බලන්න මේ ආණ්ඩුව ගේන්න බොක්කෙන්ම වැඩකරපු බලවේග ඔක්කොම අද ආණ්ඩුව එක්ක නෑ. ගෝඨාභය මහත්මයා වටේ රුස් වළල්ලක් වගේ හිටපු වියත්මගේ සාමාජිකයන් සමහර ඇමැතිවරු කනෙන් අල්ලලා දොට්ට දානවා. සමහරුන්ට වැඩකරන්න බැරිතරමට වාතාවරණයක් හදලා. ඒ අයට පලා නොකියා පලා බෙදනවා.

මේ රටේ කාලෙකට ඉස්සෙල්ල රටපුරා ගොවි ජනතාවයි, ග්‍රාමීය මට්ටමේ සුළු ධනේෂ්වර කැටගරියෙ හිටපු තමන්ගෙ දේපළවලින් හොඳ ආදායමක් ලබන පිරිස, මුදලාලිලා මේ ඔක්කොම හිටියෙ යූ.එන්.පී. එකේ ඔඩොක්කුවේ. වැඩිදුර යන්න ඕනෙ නෑ. 2001 යූ.එන්.පී. ආණ්ඩුව දිනනකොට මේ කොටස් ඔක්කොම දකුණෙ විතරක් නොවේ උතුරු මැද, වයඹ, සබරගමුව මේ හැම පැත්තකින්ම යූ.එන්.පී.යට ඡන්දෙ දුන්නා. මහින්ද මහත්තයා ඇවිල්ලා එයාගේ දේශපාලනය හරහා මේ ඔක්කොම යූ.එන්.පී. බලවේග ටික තමන්ගෙ පැත්තට දා ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අයව දිගටම තියාගන්න එක එක වැඩපිළිවෙළවල් යොදාගත්තා. ගොවීන්ට රුපියල් 350ට පෝර දුන්නා. සුළු ධනේෂ්වර කැටගරියට ආදායම් වැඩිකරගන්න ගමේ නගරේ ආර්ථිකය හොඳ තැනකට ගෙනාවා. මහින්ද මහත්තයා දිගටම ඡන්ද දිනුවේ යුද්දෙ දිනපු වීරයා චරිතයට පණ පොවලා විතරක් නොවෙයි. රට ගැන දැක්මක් තියෙන රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හදගැස්ම හඳුනන, ජනතාවට කෑම බීම සුලබ කරපු නායකයකු හැටියටත් ඇතිකරගත්ත ප්‍රතිරෑපය නිසයි.

හැබැයි අවාසනාවකට එයා ළඟ හිටපු සමහර ඇමැතිවරු හොරකම්, වංචා, දූෂණවලට ගෑවුණේ එළිපිටමයි. ඒ එක්කම එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පවුලේ බලපෑම් නිසා රටේ පාලනයට ඇඟිලි ගැසීම් සිදුවීමත් නරකට හිටියා. ඒ වැඩේට පක්ෂය ඇතුළෙන්ම විරෝධය එනකොට ඒක වළක්වන්න සැලැස්මක් මහින්ද මහත්තයට තිබුණේ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ විපක්ෂයයි. හදිසියේ මේ ළඟදී අභාවප්‍රාප්ත වෙච්ච මංගල වගේ දේශපාලනඥයන් ඒ කාලේ යූ.එන්.පී.යේ හිටියා. ඒ අය මේ දුර්වලකම් එළියට අරගෙන මහින්දගේ පාලනයේ පතුරු ඇරියා. එකම පාලනයක් දිගටම තිබීමෙන් හෙම්බත්වෙලා හිටපු ජනතාවත්, ඇතුළේ කලකිරීම්, විරෝධතාවලින් එළියට විසිවෙච්ච මෛත්‍රීපාල මහත්තයත් නිසා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව පැරදුණා. අවුරුදු හතරකින් රටේ බහුතරයකට ඒ මහින්ද මහත්තයාගේ දෙවැනි පාලනය එපාවුණා. අමතක කරන්න එපා. ඒ වෙනකොට රටේ සුළු ජනතාව විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව සහ කතෝලික ප්‍රජාව මේ සියලුදෙනාගේම සහාය මහින්ද මහත්තයාගෙන් ගැලවිලා යූ.එන්.පී.ය පැත්තට හේත්තු වුණා. දන්නවනේ මේ රටේ ඡන්ද දායකයන්ගෙ හැටි. දිනන පැත්ත දකිනකොට ලක්ෂ ගණනකගෙ ඡන්ද ඒ පැත්තට හැරෙනවා. 2015 තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ඒ වනතුරු මහින්ද මහත්තයා එක්ක හිටපු රජයේ සේවකයෝ අනිත් පැත්ත ගහලා හිටි බව පෙනුණා. ඔන්න ඔහොමයි සරලව බැලුවොත් මහින්ද මහත්තයා එක්ක හිටපු ජනප්‍රිය ඡන්ද සාධකය අනෙක් පැත්තට හැරුණෙ.

මේ පිළිතුරට හොඳින් සවන් දී හිටපු මාධ්‍යවේදියා ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය.

හොඳයි. ඒක අතීතයනෙ. ඒ වුණත් ගෝඨාභය මහත්තයා බලයට ගෙනාවෙත් ඒ වගේම මහ මැතිවරණයෙන් ගෝඨාභය ජනාධිපතිතුමාට තුනෙන් දෙකක බලයක් දුන්නෙත් ඔය බලවේග ආපසු හැරිලා නොවෙයිද? ඉතින් මේ තරම් ඉක්මනට රටේ මෙහෙම අවුලක් ඇතිවුණේ කොහොමද? 

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා යළිත් දීර්ඝ පිළිතුරක් දුන්නේය.

අන්න ඒක තමයි මේ ආණ්ඩුව අඩුගානෙ දැන්වත් එකට එකතුවෙලා සාකච්ඡා කළයුතු දේ. නමුත් නොවෙන්නම ඒකයි. අද ජනාධිපතිතුමා ගන්න තීන්දු තීරණ අඩුම තරමින් කැබිනට් එකවත් නොදන්නා බවයි පේන්නේ. අපි ගම්මු මුල ඉඳන්ම. මේ ආණ්ඩුව 20 වැනි සංශේධනය සම්මත කරගන්න වෙලාවෙ තමයි ආණ්ඩුව ඇතුළෙ මුල්ම විරෝධය මතුවුණේ. ඒ වෙලාවේ ජනාධිපතිතුමා පත්වුණු ගමන් හිටියේ. එතුමාට ඒ අලුත් පාලනයට තියෙන බලය පාවිච්චි කරලා මේ ප්‍රශ්නය විසඳා ගත්තත් ඒකෙ පසුකාලීනව වෙන්න පුළුවන් බලපෑම් ගැන හරි අවබෝධයකින් කටයුතු නොකළ බවයි මගේ අදහස. ඊට පස්සේ බලන්න වෙච්ච දේ. බලවත් ජනාධිපති කෙනෙක් බලවත් තුනෙන් දෙකේ ආණ්ඩුවක් තියෙන කොට රටේ ජනතාව විශේෂයෙන් මේ බලය දීපු රටේ ජනතාව බලාගෙන හිටියෙ ඊළඟට තමන්ගෙ ප්‍රශ්න ටිකක් හරි විසඳලා දෙන්න ආණ්ඩුව කටයුතු කරයි කියලා. ඒ වුණත් ඒක කෙරුණෙ නෑ. ඒ ප්‍රශ්නය විසඳනවා වෙනුවට මේ ආණ්ඩුව කළේ ඒ ප්‍රශ්නවලට පෝර දාන එක. ඒ ප්‍රශ්න ටික දැන් හොඳට පෝෂණය වෙලා දරදඬුවෙලා ආණ්ඩුවට පෙනේ පුප්පනවා.

බලන්න ගොවියන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව එක රැයින් රටම කාබනික පොහොර රටක් හැටියට යා යුතුයි කියලා තීන්දු කළා. ඒකෙන් වුණේ රටේම ගොවියො තරහ වෙච්ච එකයි. මුලින් ආණ්ඩුව කිව්වෙ මේ විරෝධය රසායනික පොහොර ගෙන්වන සමාගම් ටික එකතුවෙලා කරන වැඩක් කියලයි. එහෙම නොකියා ප්‍රශ්නේ සැබෑ මුහුණුවර තේරුම් ගත්තා නම් ආණ්ඩුව අමාරුවේ වැටෙන්නෙත් නෑ. ගොවියෝ පාරට එන්නෙත් නෑ. දැන් මේ තීන්දුව එක්ක ඉන්නෙ මට පේන හැටියට ජනාධිපතිතුමයි, කෘෂිකර්ම ඇමැතිතුමයි විතරයි. මේක මම නං හිතන්නෙ කවුරු හරි දීපු ලොකුම දිරච්ච ලණුවක්. මේ ලණුව දුන්න එක්කෙනෙක් හැටියට ආණ්ඩුවෙ ඇතුළෙම අය කියන අනුරුද්ධ පාදෙණිය දොස්තර මහත්තයත් ඊයෙ පෙරේදා මේ වැඩෙන් අත සෝදගත්ත බව පෙනුණා.

දැන් ආණ්ඩුව ඊළඟට මුහුණදෙන ප්‍රශ්නෙ වෙන්නෙ පෝර නැති නිසා මහ කන්නයේ වී වගාවේ අස්වැන්න අඩු වුණොත් රටේ සාගතයක් ඇතිවීම වැළැක්විය නොහැකි වීමයි. ඒකට රටින් හාල් ගේන එක විසඳුමක් නොවන බව මම විද්‍යාඥයෙක් නොවුණත් දේශපාලනඥයෙක් හැටියට කියනවා. දැන් පාරිභෝගිකයොත් හැම වෙලාවෙම ආණ්ඩුවට බැණ බැණ තමයි හාල් මිලට ගන්නෙ. පාරිභෝගිකයාත් ගොවියාත් දෙන්නම ආණ්ඩුව එක්ක තරහයි.

ඊළඟට බලන්න ගුරු – විදුහල්පති ගැටලුව. මේ ප්‍රශ්නෙ දෙපැත්තේ තියෙනවා. ගුරුවරුන් කරන්නෙ සාධාරණ ඉල්ලීමක්. මොකද ඒ අයට මේ ආණ්ඩුව බලයට එනකොට පොරොන්දුවක් දුන්නා මේ ප්‍රශ්නය විසඳනවා කියලා. නමුත් කොවිඩ් වසංගතය එක්ක පොරබදන ආණ්ඩුවට මේ වෙලාවෙ ඒ ප්‍රශ්නයට විසඳුමක් එකපාරටම දෙන එක අමාරු බව අපි කවුරුත් පිළිගත යුතුයි. හැබැයි ගැටලුව ඒක නොවේ. මේ ප්‍රශ්නයෙදි ආණ්ඩුව අනුගමනය කළ දරදඬු ආකාරයයි. ඒ වෘත්තීය සමිති නායකයො නිරෝධායන නීතියට යට කරලා උසාවි දැමීම වැරුද්දක්. සටන් කරන ගුරුවරුන්ට දඬුවම් කරනවා කියන එක මේ ගුරු – විදුහල්පතින් කවදාවත් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙයි. අඩුම තරමින් මේ සමිති නායකයන්ට බැරිවුණා මුදල් ඇමැතිගෙන් සාකච්ඡාවක් අරගන්න. දැන් ප්‍රශ්නය විසඳිලා තියෙන්නෙ තාවකාලිකවයි. මතුපිටින් විතරයි. මේ අය විතරක් නොවේ. සමස්තයක් හැටියට රාජ්‍ය සේවයේ බහුතරයක් දෙනා අධික ජීවන වියදම නිසා ඉන්නේ දැඩි පීඩනයකින්. ගුරුවරුන් රජයේ සේවකයන් අතරින් අති බහුතරයක් ඡන්දෙ දුන්නේ තමන්ට බව අද ආණ්ඩුවේ බලධාරීන්ට අමතක වෙලා. මේ අය තවදුරටත් ආණ්ඩුව කෙරේ විශ්වාසයක් තියෙනවද කියන එක ඊළඟට තියෙන පළමු ඡන්දයෙන් බලාගන්න පුළුවන්. 

දැන් බලන්න මේ ආණ්ඩුව ඇවිත් තමන්ගෙ ප්‍රශ්න විසඳයි කියලා ජනතාව හිතුවට සිදුවෙච්ච දේවල්. පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවේ ක්‍රියාදාමය අද කාදිනල්තුමා හැම පැය විසිහතරෙම විවේචනය කරනවා. දැන් ඒක කෙළින්ම ආණ්ඩු විරෝධයක් බවට පත්වෙලා. පැහැදිලිව දැන් කතෝලික ප්‍රජාවගේ සහාය ආණ්ඩුවට තවදුරටත් නෑ. ආණ්ඩුව ගේන්න පෙරමුණ ගත්ත උගත් පිළිගත් හාමුදුරුවරු හැමෝම අද නිහඬයි. ඒ අතරේ රටේ ජනතාවගේ දැඩි විවේචනයට ලක්වූ හාමුදුරුනමක් වන ඥානසාර හාමුදුරුවො එක රටක් එක නීතියක්* හදන උපදේශක කමිටුවේ සභාපති කරනවා. මේ වගේ කමිටුවක සභාපති වෙන්න මේ රටේ ඉන්න නුසුදුසු පුද්ගලයකු හැටියටයි වගකිවයුතු පාර්ශ්ව ගණනාවක් පෙන්වා දීලා තියෙන්නෙ. එක රටක් එක නීතියක් මතක් වුණේ දැන්ද කියලා මිනිස්සු අහනවා.

ඊළඟට මේ ආණ්ඩුවට තියෙන බරපතළ අවාසියක් තමයි ආපු දවසෙ ඉඳන් තමන්ගෙ නඩු ඉල්ලා අස් කරගන්න මුල් තැනක් දීපු එක. ඒ වගේම ප්‍රේමලාල් ජයසේකර, දුමින්ද සිල්වා වැනි නීතියෙන් දඬුවම් ලැබූ දේශපාලනඥයන්ට ආණ්ඩුවේ ඉහළින්ම රුකවරණය ලැබීම. මේවා රටේ පොදු ජනතාව ඉවසන්නෙ නෑ. දැන් මේ තියෙන පොදු ප්‍රශ්න දලු දාලා වැවෙනකොට ඒ එක්ක මේවා තදින්ම ගැටගැහෙන බව අමතක නොකළ යුතුයි. ඒ වගේම තමයි දැන් ආණ්ඩුව ඇතුළෙම විශාල විරෝධයක් ගොඩනැගෙමින් තිබීම. විමල්ලා එකතුවෙලා මේ ගහන්නෙ මොන ගේම් එකක්ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි මේ යුගදනවි වගේ තීරණ එක්ක විමල්ලා මේ අරගෙන යන්නේ රට ඇතුළෙ තිබෙන පොදු විරෝධය බව තේරුම් ගන්න අපහසු නෑ. රටේ ආර්ථික කඩාවැටීම එක්ක මේ ගැටලු ඔක්කොම එකට එකතුවෙන එක නම් මම හිතන්නේ ආණ්ඩුවට බරපතළ අභියෝගයක් කියලයි..

මාධ්‍යවේදියා අවසානයේ මෙසේ ඇසුවේය.

හොඳයි මේ ආණ්ඩුවට වාසි වෙන මොකුත්ම නැද්ද?

මොකද නැත්තෙ? බලන්න මේ ආණ්ඩුව කොයිතරම් හොඳට කොවිඩ් වසංගතය කළමනාකරණය කර ගත්තද? එන්නත්කරණය කොයිතරම් සාර්ථකද? ඒ වගේම තමයි ජනාධිපතිතුමා රටට පෙන්වා දෙන සරල, චාම් ජීවිත ආදර්ශය. තමන්ගේ වියදම් විශාල වශයෙන් අඩු කරලා තියෙන එක. ඇත්තටම එතුමා ගත කරන්නෙ අල්පේච්ඡ ජීවිතයක්. ඒ වගේම ජනතාව හමුවෙන්න ඒ අය ළඟට යන එක මේවා හොඳ දේවල්. මේ නිසා ආණ්ඩුවේ බොහොමයක් මැති ඇමැතින් බලාපොරොත්තු වෙච්ච පරණ පුරුදු අලුත් යාන වාහන අරං ගත කරපු ජොලි ජීවිතේ නම් වැළකිලා තියෙනවා. ඒ විතරක් නොවේ. තව එකක් තියෙනවා…

ඒ මොකක්ද

හරි හමං විපක්ෂයක් නැති එක.

0 comment
0

Related Posts

Leave a Comment