Home ක්‍රීඩා පුවත් පළමු ආසියා කුසලාන රග්බි තරගාවලිය ලබන වසරේ තුරඟ තරග පිටියේ

පළමු ආසියා කුසලාන රග්බි තරගාවලිය ලබන වසරේ තුරඟ තරග පිටියේ

by Hela news

උපදේශක කමිටුවට ආසියාවේ පැසසුම්

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව මෙයට වසර ගණනාවකට පෙර පැවැති යහපත් තත්ත්වයට වඩා ඉහළට පැමිණෙන රත්තරන් වටිනා වසන්ත කාලයක් උදාවනු ඇතැයි ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කුවයිස් අල් දලායි මහතා පවසයි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ දුරදර්ශී වැඩපිළිවෙළ අනුව පත්කළ රග්බි උපදේශක කමිටුව එහි හැරවුම් ලක්ෂ්‍යය වනු ඇතැයි ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ආසියා රග්බි මූලස්ථානයේ දී ‘දිනමිණ’ සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී දලායි මහතා පැවැසීය.

මේ මස 19 සිට 21 දක්වා ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු රගර් සත් සාමාජික තරගාවලියේ සංවිධාන කටයුතු මුල් කරගෙන ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා සමග මේ සාකච්ඡාව පැවැත්විණි. රටවල් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන කාන්තා හා පිරිමි රග්බි තරගාවලි දෙකටම ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කොට ඇති අතර, චීනය, හොංකොං, ජපානය, කසකස්තානය, මැලේසියාව, සිංගප්පූරුව හා තායිලන්තය ආසියා සත් සාමාජික රග්බි තරගාවලි නියෝජනය කරන සෙසු රටවල් වෙති.

“මෙවර ආසියා රග්බි තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලියක සත්කාරකත්වය ලබාදීමට අප තීරණය කොට තිබෙනවා. එය මුල්වරට පැවැත්වෙන ආසියා කුසලාන රග්බි තරගාවලියයි. ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කොට අවසන්. ඒ සඳහා අපගේ සාමාජික සංගම් ලෙස ඇති රටවල් 35කින් රටවල් 25ක් පමණ සහභාගී වේ යැයි අප විශ්වාස කරනවා. දින තුනක තරගාවලිය ලබා ගැනීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විශාල උනන්දුවකින් කටයුතු කළා. අපගේ සම්පුර්ණ සහයෝගය ඒ සඳහා ලබා දෙනවා” අල් දලායි මහතා පැවැසීය.

“මේ 19දා ආරම්භවන ඩුබායි ආසියා රග්බි සත් සාමාජික තරග සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ සහයෝගයෙන් ඩයලොග් ආයතනය අනුග්‍රහය ලබා දෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලියකට එවැනි අනුග්‍රහයක් ලබාදීම පිළිබඳ අප ස්තුතිවන්ත වෙනවා. කොරෝනා අර්බුදය අතරතුරදී පැවැත්වෙන මේ තරගාවලිය සම්බන්ධව විශාල අවධානයක් පවතිනවා. ඒ නිසා මේක විශේෂ තරගාවලියක්.”

“ශ්‍රී ලංකා රග්බි උපදේශක කමිටුවට පත්කළ අසංක සෙනවිරත්න මහතා මා ඉතා හොඳින් දන්නවා. ඔහු අති දක්ෂ පරිපාලකයෙක්. ඒ වගේම රග්බි ක්‍රීඩාව පිළිබඳ වැටහීමක් ඇති අය උපදේශක කමිටුවට නම් කොට තිබෙනවා. ඉතා හොඳින් වැඩ කළ පළපුරුදු අයගේ උපදේශ මත ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද තියෙන තැනට වඩා හොඳ තැනකට යන බව ස්ථීරයි” ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment