Home දේශීය පුවත් පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම බල රහිත කරන්නැයි ඩයනාගෙන් පෙත්සමක්

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම බල රහිත කරන්නැයි ඩයනාගෙන් පෙත්සමක්

by Hela news

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය.

20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම ඇතුළු චෝදනා සහිතව තමන් ට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සහ එය විමර්ශනය කළ විනය කමිටුවේ නිර්දේශ බලරහිත කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ද සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය දැරීමට නුසුදුසු බව පෙත්සම මගින් පෙන්වා දී ඇත. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය මත සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් පාර්ලිමේන්තු මහ මහලේකම්වරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත. සමඟි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහ කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

සිය සැමියා වන සේනක ද සිල්වා ආරම්භ කළ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරිය ලෙස තමා කටයුතු කළ අතර එම පක්ෂය පසුව සමඟි ජන බලවේගය ලෙස නම් කළ බව පෙත්සම්කාරිය සඳහන් කරයි.

එහි නියෝජ්‍ය ලේකම්වරිය සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකාවක ලෙස තමන් කටයුතු කළ බව ද ඇය පවසයි.

තමන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම ද ඇතුළු චෝදනා තුළත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සුදත් වික්‍රමරත්න ගේ නායකත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තමන්ට එරෙහි පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂ නායකත්වය කටයුතු කළ බව පෙත්සම්කාරිය සඳහන් කරයි.

එවැනි විනය කමිටුවක් පත්කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි වන අතර මේ පිළිබඳ පක්ෂ නායකත්වයට දැනුම් දුන් නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව පෙත්සමෙහි සඳහන් වේ.

එම වෙන කමිටුව හමුවේ පසුගිය ජූනි එකොළොස් වැනි දා පෙනී සිටින ලෙස පෙත්සම්කාරියට දැනුම් දෙන ලදී. එම කමිටුව හමුවේ පෙනී සිටීමට සතියේ දිනයක් නොවන දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව පෙත්සමෙහි සඳහන් වේ.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ලබා නොදීමට සමඟි ජන බලවේගය තීරණය කර නොතිබූ බැවින් තමන්ට ඉදිරිපත් කළ චෝදනා පදනම් රහිත වන බව පෙත්සම්කාරිය සඳහන් කරයි. එ බැවින් තමන්ට එරෙහි

චෝදනාවල පදනමක් නොමැති බව පෙත්සම්කාරිය පෙන්වා දී තිබේ. එසේම තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන පක්ෂ ලේකම්වරයා සහ සභාපතිවරයා සමඟි ජන බලවේගය සාමාජිකත්වය දැරීමට නුසුදුසු වන බැවින් තමන් සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණ නීති විරෝධී බව ද පෙත්සම්කාරිය පෙන්වාදී තිබේ.

ඔක්තෝබර් 7 වැනි දින තමන් පක්ෂයෙන් නෙරපූ බව මාධ්‍ය මඟින් දැනගත් අතර පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් සහ මැතිවරණ කොමිසමෙන් ඒ පිළිබඳ විමසීමක් කළ ද ඒ පිළිබඳ තමන්ට දැනුම්දෙනු නොමැති බව ඔවුන් සඳහන් කළ බව පෙත්සම්කාරිය සඳහන් කරයි. කෙසේ වුවද ඔක්තෝබර් දහවෙනිදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමසාරිස්වරයා කොමිසමට දැනුම් දී තිබේ. මෙලෙස තමන් පක්ෂයෙන් නැරැඹීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි වන අතර විනය කමිටුව පත් කිරීම ද නීතියට පටහැනි වන බව පෙත්සම්කාරිය සඳහන් කරයි.

එබැවින් නායකත්වය සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටී.

0 comment
0

Related Posts

Leave a Comment