Home ගොසිප් පුවත් නීති දාලා මාව වෙනස් කරන්න බැහැ

නීති දාලා මාව වෙනස් කරන්න බැහැ

by Hela news

පුලිඟු ටෙලිනාට්‍යයේ හාමිනා ලෙස චරිතය නිරූපණය කරන දිලිනිගේ රඟපෑම ගැන බොහෝ දෙනා කතා කරනවා. මේ වෙනස ගැනත් ජීවිතේ ගැනත් අපි දිලිනිගෙන් ඇසුවෙමු.

දිලිනිට හිමිවුණ මේ රංගනය වෘත්තිය ගැන තෘප්තිමත් ද?

ඔව්. මේ තැනට එන්න ලෝකයෙ බහුතරයක් දෙනා කැමතියි. රටක ජනප්‍රිය චරිතයක් වෙන්න අකැමති කවුද අපේ රටේ ඉන්න කෝටි දෙකක ජනතාව අතරින් මට එහෙම කෙනෙක් වෙන්න ලැබීම ගැන ලොකු සතුටකින් ඉන්නේ. අනිත් කාරණය ලංකාවේ හැකියාවන් තියෙන නිළියන් ගොඩේ මමත් ඉන්නව කියන එක ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

අවුරුදු කුමරිය ලෙස හිමිකරගත් කිරුළ දිලිනිට මෙතැනට එන්න මගක් හදල දුන්නද?

කිසි දෙයක් පහසු වුණේ නැහැ. මගේ පළවෙනි නාට්‍යයේ රඟපාන්න පාන්දර තුනට ගෙදරින් පිටවෙලා බස් එකේ මහරගමට එන්නේ. දුෂ්කරතා මැදින් අවුරුදු දොළහක් තිස්සේ මේ ගමන ඇවිත් අද මං ඉන්න තැන ගැන සතුටුයි.

එදා බස් එකේ මහරගමට ආපු දිලිනි. අද තමන්ගේම වාහනයකින් දර්ශන තලයට යන කෙනෙක්ද?

අනේ නැහැ. මට අදටත් වාහනයක් නැහැ. මම බස් එකේ කෝච්චියෙ තමයි යන්නේ මම කිව්වේ රංගන ශිල්පිනියක් ලෙස මම අද මිනිස්සුන්ගේ හිතේ ඉන්වා… ඒ ඇති.

ජනප්‍රිය වුණාට පස්සෙ තමන්ගෙම වාහනයෙන් දර්ශන තලයට එන එකත් ෆැෂන් එකක් වෙලා නේද?

සමහරු කියයි දිලිනි මොනවද මේ කියන්නෙ කියලා. මම මේ තෝරගෙන තියෙන ජීවන රටාව තමයි මේ විදිහ. මගේ ආර්ථිකයටත් සැහැල්ලුයි කාටවත් කරදරයකුත් නැහැ. මගේ පාඩුවේ බස් එකක නැගල යනවා. එහෙම ගියා කියල ප්‍රේක්ෂකයෝ කරදර කරන්න එන්නේ නැහැ.

මේ දවස්වල දිලිනිව දකින්න ලැබෙන හාමිනාගෙ චරිතය හා හදවතින්ම එකඟද?

හාමිනාගේ චරිතය සාමාන්‍ය චරිතයක් කියල බොහෝදෙනාට හිතෙන්න පුළුවන්. සමහරු මම මෙතෙක් කළ අනිත් චරිත එක්ක හාමිනාගෙ චරිතය සංසන්දනය කරනවා. විශේෂයෙන්ම මම මෑතක කළ මද්දහන ටෙලි නාට්‍යයේ චරිතයත් එක්ක ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් චරිත කරන්නකෝ කියන අයත් ඉන්නවා. නිළියක් විදිහට මටත් රඟපාන්න ආසාව තියෙනවා. ඒ ආසාවට වටිනාකමක් එන්නේ මට මේ චරිතයෙන් යමක් කරන්න තියෙනවා නම් කියල මම දන්නවා. බුද්ධික ලොකුකැටිය අයියා මට හාමිනාගේ චරිතයට ඇරයුම් කළහම මම මේ ගැන විමසුවා. එවිට ඔහු පැවසුවා ඉදිරියේදී මේ චරිතයේ ලොකු වෙනස්කම් වෙන්න නියමිතයි කියලා. ඉදිරි​යේ තමයි හොඳ හොඳ සෙල්ලං තියෙන්නේ.

හැමදාම රඟපාන ගැමි චරිතයෙන් වෙනසක් දකින්න කැමති නැතිද?

මේකට බාහිර පෙනුමත් බලපානවා. ගොඩක් අය හිතන්නෙ චීත්ත ගවුම ඇඳලා කොණ්ඩ කරල් දෙක ගෙතුවම ගැමි චරිත තමයි කියලා. මම මේ අවුරුදු දොළහ ඇතුළත සීමිත පිරිසක් සමග තමයි වැඩ කරලා තියෙන්නේ. මේ චරිතයට දිලිනි හොඳයි කියල හිතලා මට ඒ චරිත දෙන පිරිසක් ඉන්නවා. ඔවුන් මගේ රංගන පරාසය ගැන දන්න පිරිසක්. මේ වෙත්දි රංගනය පැත්තෙන් විතරක් නෙවෙයි. අධ්‍යක්ෂණය පැත්තෙනුත් ටෙලි නාට්‍ය කලාවෙ අලුත් මුහුණු වැඩියි. ඒ අයට දිලිනිට මේ චරිතය දීලා බලමු. තියෙන අවදානම ගන්න බැරි එකක් තියෙනවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම මට ලැබෙන පොඩි හෝ ලොකු චරිතයකට උපරිම සාධාරණය කරනවා.

කලාකරුවන් ගැවසෙන බොහෝ තැන්වල දිලිනි දකින්න නැත්තේ ආඩම්බරකම නිසාද?

ලොකුකමකට නෙවෙයි මම ගොඩක් දේවල්වලට යන්නෙ නැති කෙනෙක්. මම දවසක් හරි ආශ්‍රය කරපු කෙනෙක් කියන්නේ මම හරි හොඳ කෙනෙක් කියලා. ඒ වචනය ගොඩක් අයගෙන් අහලා තියෙනවා. මට ප්‍රේක්ෂකයෝ ඉන්න ඕන. මම ඒ අයට ආදරෙයි. මම ඕනෑම තැනක එයාලත් එක්ක කතාකරලා ඉන්නවා. මට තව කෙනෙක්ට ආඩම්බරකම් පෙන්වන්න ඕනකමක් නැහැනේ.

සමස්තයක් ගත්තම දිලිනි අඩුවෙන් වැඩ කරන කෙනෙක් නේද?

සාමාන්‍ය වැඩ තියෙන කාලයට කාර්යබහුලයි. වැඩ නැති කාලයට නිදහස් කාල එනවා. මේ වගේ චක්‍රයකටයි මේකෙ ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. මේ කාරණය කොයි කලාකරුවටත් පොදුයි. මම ලොකුවට කාර්යබහුල කෙනෙක් නෙවෙයි. මගේ ඒ ක්‍රමය නිසා මට විවේක කාල වැඩියෙන් ලැබෙනවා. ඒ කාලයේ පොතක් කියවල චිත්‍රපටයක් බලලා මම කරන චරිතයක් සාර්ථක කරගන්න ඕන දෙවල් ටිකක් එකතු කරගන්නවා.

අඩුවෙන් වැඩ කරන්නේ ව්‍යාපාරයක් ගැන සැලසුමක් තියෙන නිසාද?

මම මට හම්බවෙන මුදලින් ජීවිතයේ දේවල් කළමනාකරණය කරගන්න පුරුදු වුණ කෙනෙක්. මම ජීවත්වෙන විදිහට මට ලොකු සල්ලියක් හොයන්න ඕන නැහැ. පහුගිය කොරෝනා කාල​යේ නම් කලාව ජීවන වෘත්තීය කරගෙන ඉන්න එකේ අවදානම දැනුණා තවත් ආදායම් මාර්ගයක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. එහෙමයි කියලා කරන්නන් වාලේ දේවල් කරන්න මම කැමති නැහැ. කෙනෙක් සාර්ථකව කරන දෙයක් මට බැරිවෙන්න පුළුවන්. ඒ නිසා කවද හරි මට සාර්ථකව කරගන්න පුළුවන් කියලා හිතෙන දෙයක් ඇසුරෙන් ව්‍යාපාරයක් ගොඩනගන්න කැමැත්තක් තියෙනවා.

දිලිනි විවාහ වෙන එක කල් දමන්නේ ඇයි?

තාම මට පෙම්වතෙක් නැහැ. පහුගිය කාලයෙ නම් මට ප්‍රේම සම්බන්ධතා තිබුණා. දැන් පොඩ්ඩක් කාලයට ඉඩ දීලා ඉන්නවා. කසාදයක් නම් හෙට වුණත් කරගන්න පුළුවන්නේ. නමුත් තමන්ගෙ අදහස්වලට ගැළපෙන අවබෝධය තියෙන කෙනෙක් හම්බවෙන්න ඕනනේ විවාහයක් කරා යන්න.

මේ ගැන පවුලේ අයගෙන් බලපෑමක් නැතිද?

ගෙදරින් බලපෑමක් නැත්තේ නැහැ. නමුත් එයාලා දන්නවා මම නීති දාලා වෙනස් කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි. මම එයාලට කියලා තියෙන්නේ මගෙ හදවතට දැනෙන කෙනෙක් හම්බවුණදාට මම කියන්නම් කියලා.

විවාහයෙදී දිලිනි බොහෝ ගැඹුරු කාරණා හොයනවා වගෙයි?

මේ සමාජයෙන් දකින දේවල් ඇසුරින් මේක ඇතුළේ ගැඹුරුතාවයක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. නමුත් දැන් පවතින සමාජ රටාව වෙනස්. අපි ළාබාල කාලයේ ජීවිතය ආදරය ගැන හිතුණ විදිහට වඩා දැන් හිතෙන විදිහ වෙනස්. දැන් මගේ ජීවිතයෙන් බාගයක් ගෙවිල​නේ තියෙන්නේ. ඉතින් ඉතිරි බාගය ගෙවාගන්න නිදහසේ ඉන්න එක නැතිකරගන්නේ නැතිව ලස්සනට හිනාවෙලා අත අල්ලගෙන යන්න පුළුවන් කෙනෙක් තමයි හොයන්​නේ.

0 comment
0

Related Posts

Leave a Comment