Home උණුසුම් පුවත් නිවී ගිය පහන – ලක්ෂ්මන් විජේසේකර

නිවී ගිය පහන – ලක්ෂ්මන් විජේසේකර

by Hela news

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය.

හෙට පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් පවසයි.

ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය ගල්කිස්ස කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) දහවල් අභාවප්‍රාප්ත විය.

මියයන විට ලක්ෂ්මන් විජේසේකර මහතා 73 වන වියෙහි පසුවිය.

70 දශකයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු මෙරට රසික හදවත් දිනාගත් ගීත බොහොමයක් දායාද කර තිබේ.

80 දශකයේ මුල් භාගයේ විකාශය වූ රේඛා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවෙමින් “දැල්වූ පහන්” වැනි ගීත ගායනා කරමින් ලක්ෂ්මන් විජේසේකර මහතා රසික හදවත් දිනා ගත්තේය.

ගංඟා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙමින් ගායනා කළ සිනා පිපෙනා මේ වසන්තය ගීතයද  80 දශකයේ අතිශය ජනප්‍රිය විය.

රූපවාහිනී ගායනා වැඩසටහන් ඉදිරිපත් කරමින් ළමා පරපුර තුළ සංගීතය පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට ලක්ෂ්මන් විජේසේකර මහතා මහඟු කාර්ය භාරයක් ඉටු කළේය.

සඳ කිනිති නැමී,  ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, ඔබ මට තරුවකි, දැල් වූ පහන්, ඉර පායා, දෑස දෙපා ළඟ ගිගිරි සරින් වැනි ගීත රැසක් ශ්‍රී  ලංකේය රසිකයන් වෙත ඔහු තිළිණ කර තිබේ.

කොළඹ  ඩී. එස් සේනානායක විද්‍යාලය ඇතුලු පාසල් කිහිපයක මෙන්ම කලාභූමි සෞන්දර්ය ආයතනය ආරම්භ කිරීමට දායකවෙමින් එහි සංගීත ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් දරුවන් වෙත සංගීත දැනුම ලබාදීමට ද ලක්ෂ්මන් විජේසේකර මහතා කැපවී කටයුතු කළේය.

0 comment
0

Related Posts

Leave a Comment