Home ගොසිප් පුවත් නිල්වෙන්න ගුටි කාපු දවස් තිබුණා

නිල්වෙන්න ගුටි කාපු දවස් තිබුණා

by Hela news

හේෂානි… ඇත්තටම ධරණි නාට්‍යයට සම්බන්ධ වෙන්නට පෙරම සටන් කලාව ගැන ඉගෙන ගෙන තිබුණාද?
නැහැ. මම ඊට පෙර සටන් කලාව පිළිබඳව අධ්‍යයනය කරල තිබුණේ නැහැ. නාලිකාව හරහා තමයි මේකට අපිට සම්බන්ධ කරගත්තේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් මාස්ටර් කෙනෙක් හරහා ලබලා දුන්නා. ඒ ලබපු පුහුණුවීම් එක්ක තමයි නාට්‍යයේදී සටන් කරන්න අවස්ථාව ලැබුණේ. මුලදී නම් මම ගොඩාක් බයවුණා… මීට පෙර ඒ වගේ අපි කවදාවත් ගුටිකාලා තිබුණේ නැහැනේ. මාස්ටර්ගේ ගෝලයින්ගෙන් නම් අපිට ඒ වගේ දරුණු පහරවල් ලැබුණේ නැහැ. ඒ අය අපිව හරියට පරිස්සම් කළා. නමුත් පිටින් අපි වගේම ආධුනික ගැහැනු ළමයින්වත් ගෙන්වලා තිබුණනේ. ඒ අයට ලොකු දැනුමක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට ගහපු පහරවල් ඉතා දරුණුවට ඇත්තටම වැදුණ අවස්ථාත් තිබුණා. සමහර පහරවල් දවස් ගණන් නිල්වෙලත් තිබුණා.

නිළියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?
නැහැ. මගේ ජීවිතේ කොතැනකවත් නිළියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මට නර්තන ගුරුවරියක් වෙන හීනයක් තිබුණ. හැබැයි මට ඕනෑවුණේ නර්තන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉගෙනගන්නයි. මාව නර්තනය පැත්තෙන් ඉදිරියට යවන්න මගේ අම්මට ලොකු ඕනෑකමක් තිබුණ. මම දන්න කාලේ ඉඳන් සායක් හරි ඔළුවේ දාගෙන නටනවලු. සාරි ඇඳගෙන නැටුවා. මගේ අක්කත් මට චූටි කාලේදී සාරි එහෙම අන්දලා ෆොටෝ ගන්නවලු. ඒ නිසා නැටුමට මම හරි ආසයි. අම්මා මා තුළින් දැකපු දේ පසුකාලීනව හැබෑ කරගන්න මට පුළුවන් වුණා. මම රුජිණ සෙල්වනායගම් මහත්මිය යටත් නර්තනය පුහුණුවෙන්න යද්දී මට අවුරුදු තුනයි. උසස් පෙළට මම හැදෑරුවෙත් නර්තනයයි. ඒ හරහා මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. මම අවුරුදු දහතුනක් උඩරට නර්තනය හදාරලා විශ්වවිද්‍යාලයේදී පහතරට නර්තනයෙන් විශේෂ නර්තන උපාධිය හදාරනවා. මගෙ අම්මා ඒ ගත්තු තීරණය මගේ ජීවිතේ හොඳට තීරණය වෙනවා.

හේෂානිගේ පවුලේ ඉන්නේ කවුද…?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කයි, අයියයි. මම පවුලේ බාලයා. මගේ අයියා විදෙස්ගත වෙලයි ඉන්නේ. එයා ඉන්නේ ඇමෙරිකාවේ. අක්කාත් නොබෝ දිනකින් විදෙස්ගත වෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර ඉන්නේ මමයි අම්මයි, අප්පච්චියි තමයි.

අක්කයි, අයියයි එක්ක ගතකරපු ළමා කාලය මතක් කළොත්…?
මම පවුලේ බාලයා. මගේ අක්කා මට වඩා අවුරුදු හතක් වැඩිමහල්. අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ඒ දෙන්නාගේම හුරතලෙන් මම පුංචි කාලය ගත කළා. මගේ අම්මයි අප්පච්චියි මට වටිනා තෑග්ගක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. කවදාහරි ඒ දෙන්න නැතිකාලෙක මට තව අම්මෙකුයි, අප්පච්චි කෙනෙකුයි හැදුවා කියලයි මට හිතෙන්නේ. ඒ තරමටම මගේ අක්කයි, අයියයි මම ගැන හොයනවා. මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බලලා කරනවා. මගේ අයියා අප්පච්චිම තමයි. එයා ඒ ආදරේ පෙන්නන්නේ නැහැ. එයා ඇමෙරිකාවට ගිහින් දැන් අවුරුදු පහක් වෙනවා. හැබැයි අයියා මට කියන්නෙම ඔයා පාරක යද්දී මොන පාරෙද යන්නෙ කියලා මම දන්නවා* කියලයි. එළියට බැස්සත් මම කොතැනද ඉන්නේ කියලා එයා දන්නවා. ඒ වගේමයි අක්කත් මගේ අම්මට දෙවෙනි නොවෙන්නට මම ගැන සොයලා බලනවා. එයා ලංකාවෙන් ගියත් මම ගැන හැම මොහොතකම හොයලා බලනවා කියලා මම දන්නවා. ඒ ආදරේ මට හැමදාම ලැබෙනවා.

පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. එහෙම නේද?
ඔව්… කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මගේ අප්පච්චි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට මුලදී විරුද්ධ වුණා. හැබැයි මගේ අම්මට මාව අවුරුදු කුමාරියක් කරන්න ආසාවක් තිබුණා. 

ඒ කියන්නේ තරගයට ඉදිරිපත් වුණේ ඔයාගේම කැමැත්තෙන්…?
ඔව්… 2020 දෙරණ අවුරුදු කුමාරි තරගයට මටත් ඉදිරිපත් වෙන්න ආසා කළා. මම ගෙදරට කියන්නේවත් නැතිව ඒකට ඉදිරිපත් වුණා. මුලින් ඇප්ලිකේෂන් එක දැම්මේ නම් මගේ අම්මයි අක්කයි එකතුවෙලයි. ඒ වෙද්දීත් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඉතින් තෝරන දවස තිබෙද්දී මම ගෙදර කාටවත්ම නොකියා තනියම ඒකට ඉදිරිපත් වුණා. ගෙදරින් කැම්පස් යන විදිහටයි මට තරගයට ඉදිරිපත් වුණේ. නාඩා ආයතනයේ තමයි තෝරා ගැනීමේ පරීක්ෂණය තිබුණේ. මගේ කැම්පස් එක තිබුණෙත් ඒ ළඟම නිසා මට පහසු වුණා. අපේ තෝරාගැනීමේ පරීක්ෂණය තිබුණේ උදේ නවයටයි. මට කැම්පස් ලෙක්චර්ස් උදේ අටට පටන් ගන්නවා. මට උදේ හතහමාරට විතර නාඩා ආයතනය ළඟින් බැහැල ටිකක් වටපිට බැලුවා. ඒ වෙද්දී නම් කවුරුත් හිටියේ නැහැ. මම ටික වේලාවක් බලාගෙන හිටියා. ටිකෙන් ටික ළමයි එන්න පටන් ගත්තා. ඒ ආපු බොහෝ අය රෙදි හැට්ට ඇඳගෙන තමයි ඇවිත් හිටියෙ. මට මාර අප්සෙට්. කොණ්ඩයට මල් ගහලා, පබළු මාල දාලා හිටපු ඒ ළමයි දකිද්දී මගේ කකුල් දෙක කැම්පස් එක පැත්තට ඇදෙනවා කියලා මටම දැනුණා. එදා මම ඇඳගෙන ගියේ රතුපාට දිග ගවුමක්. උපදෙස් ගන්නවත් කෙනෙක් නැහැ. සමහර ළමයින් හතර පස්දෙනා එක්ක වාහනවලින් ඇවිත් හිටියා. ඒ නිසාම ඒ අවුරුදු කුමරි තරගය අතහැරලා මම කැම්පස් යන්න තීරණය කරලා එතැනින් එළියට ආවා. ඒ එද්දී මම අඳුනන අයියා කෙනෙක් මට මුණගැහුණා. එයාලා අවුරුදු කුමාරයා* තරගයට ඉදිරිපත් වෙන්නයි ඇවිත් හිටියේ. මම කැම්පස් එකට යනවා* කියලා කියද්දී පිස්සුද… ආපු එකේ ඉදිරිපත් වෙලාම යන්න* කියලා ඒ අයියා මාව දිරිමත් කළා… ඉතින් එහෙම ආපු ගමන තමයි මේ 2020 අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය වෙන්නත් මට පුළුවන් වුණේ

හේෂානිට ඇයි කට්ටිය රුවුණි කියන්නේ?
ඒ කැම්පස් එකේ මට කියන කාඩ් එකයි. කැම්පස් එකට ගිය අලුත මම කට්ටියට රවනවා කියලයි කට්ටිය කිව්වේ. ඒ නිසා තමයි ඒ නම මට කිව්වේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් හැමෝම මාත් එක්ක හරි හිතවත්.

කැම්පස් ජීවිතේ මොන වගේද?
ඒක එක අපූරු කාලයක්. අපේ කාලයේදී වැඩියෙන්ම රුග් කළේ මට කියලයි මම හිතන්නේ. අම්මෝ මුල් කාලයේදී නොකළ රැග් එකක් නැති තරම්. සිංදු කියන්න වුණා. එක බත් එක කී දෙනෙක්ට කවන්න වුණාද? තව තව රැග් විඳින්න සිද්ධ වුණා. මටම එහෙම රැග් කළේ ඇයි කියලා හිතාගන්නවත් බැහැ. හැබැයි කොහොම හරි මම ඒ කාලේත් පහුකළා. මම කැම්පස් එකට ආවේ ගෙදර ඉඳන්මයි. අංගොඩ තමයි අපේ ගෙදර තිබුණේ. ඉතින් හොස්ටල්වල හිටපු ළමයින්ට මේ ගෙවල්වල ඉඳන් එක ළමයි ගැන පොඩි ඉරිසියාවකුත් තිබුණ. ඒ නිසා ඒ ළමයින්ට රැග් කරන ප්‍රමාණයත් වැඩිවුණා. ගෙවල්වල කෑම වගේ හොස්ටල් කෑම රහක් නැහැනේ. ඒ නිසා වෙන්නත් ඇති. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මම ගෙදරින් කෑම එක ගේනතුරු මගේ යාළුවෝ බලාගෙන හිටියා. ඒ නිසා මම ලොකු බත් මුලක් අරගෙන ගියා. දැන්නම් මගේ යාළුවෝ හරිම හරි හොඳයි. රූගත කිරීම් නිසා සමහර පාඩම් අතපසු වෙද්දී ඒවාට උදව් කරන්නේ මගේ යාළුවෝ තමයි. සමහරු මම වෙනුවෙන්ම වෙනමම පාඩම් ලියලා එවනවා. මේ දවස්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්නෙත් Online ක්‍රමයටයි.

හේෂානි ඉගෙන ගත්තේ?
මම ඉගෙන ගත්තේ කොළඹ යශෝදරා බාලිකා විදුහලෙයි. පාසැලේදිත් මට නර්තනය හැදෑරුවා. පාසැලේදී නම් මම ටිකක් දඟ චරිතයක්. ක්‍රීඩාවලටත් නිරත වුණා. ඇත්තටම පාසැල් ජීවිතය හරි සුන්දරයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?
රංගනය පැත්තෙන් තවම වෙන අවස්ථාවක් බාරගත්තේ නැහැ. විශ්වවිද්‍යාලයේ මම තෙවන වසරේ ඉගෙනුම ලබන්නේ. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට මූලික තැන දෙන්නම වෙනවා. ධරණි නාට්‍යයට අමතරව වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳින් අවසන් කොට උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment