Home දේශීය පුවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 144,600ක් ඉන්දියාවෙන් එයි

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 144,600ක් ඉන්දියාවෙන් එයි

by Hela news

මහ කන්නය සඳහා ගොවීන්ට නොමිලේ දීමට තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 144,600ක් ඊයේ අලුයම ඉන්දියාවේ අහමදාබාත් සිට කටුනායක ගුවන්තොටුපොළට රැගෙන එනු ලැබීය.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේ පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මේ දියර පොහොර තොගය ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් මඟින් ප්‍රවාහනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි. කටුනායක ගුවන්තොටුපොළේදී කොමර්ෂල් පොහොර සමාගම මේ පොහොර තොගය බාර ගත්තේය.

මේ නයිට්‍රජන් දියර පොහොර දිවයින පුරා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 හරහා ගොවීන්ට දීමට කටයුතු සැලසුම් කර තිබේ. නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීමට නියමිතය.

මේ අනුව ඉතිරි නයිට්‍රජන් දියර පොහොර තොගයද ඉදිරි සති දෙක ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටින බවත් ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා දීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (4) සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment