Home ගොසිප් පුවත් නළුවෙක් හදන්නේ තරුවක් වෙන්න නොවෙයි

නළුවෙක් හදන්නේ තරුවක් වෙන්න නොවෙයි

by Hela news

පුංචි කාලේ පාසල් ශිෂ්‍යයෙක් ව සිටියදී වේදිකාවටත්, චිත්‍රපටයටත්, පුංචි තිරයටත් රංගන වරම් ලද ඔහු පිළිබඳ අදටත් බොහෝ දෙනා ආදරණීය ව සිහි කැඳවනුයේ ‍”ගම්පෙරළියේ තිස්ස” ලෙසිනි. ඒ, එකී චරිත නිරූපණය ප්‍රේක්ෂක සිත්සතන්හි මුල්බැසගත් බැවිනි. කාලෙකට පසුව ඔහු මෑතදී අපට හමුවන්නේ තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත “රාවණා” ටෙලි වෘත්තාන්තයේ “පුලස්ථි ඍ‌ෂි” ලෙසිනි. යළිත් ඔහු මේ දිනවල විකාශය වන “ටීචර් අම්මා” ටෙලි නාට්‍යයේ විදුහල්පතිවරයාගේ භූමිකාව ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් සිටී.

විටෙක රංගධරයෙක්, විටෙක ලේඛකයෙක්, තවත් විටෙක සන්නිවේදකයෙක් ඈ නෙක භූමිකාවන්හි සරන ඔහු අමිත්ත වීරසිංහ යි. කලෙකට පස්සේ ඔහුගේ රංග භූමිකාව ගැන කතා කරන්නට අප සිතුවේ ඒ නිසයි.

ජාතික රූපවාහිනියෙන් නිර්මාණය කළ මුල් ම ටෙලි නාට්‍යය වූ “ළා හිරු දහසක්”හි ළමා නළුවෙක් වූ අමිත්ත පසුව යශෝරාවය, ගම්පෙරළිය, මඩොල් දූව, චරිත තුනක්, සොහොයුරෝ, සංගිලි පාලම, ආදි වශයෙන් නිර්මාණ පෙළකට රංගනයෙන් දායක වෙමින් විශාල ජන ප්‍රසාදයක් දිනා ගන්නට සමත් විය.

“ඒ තරම් සුන්දර කාලයක්…. මම ජීවිතේ මොනතරම් සතුටක් අත්විඳි කෙනෙක් ද… ඒ වගේ ම ආදරය අසීමිත ව ලැබුවා. ජෝ අබේවික්‍රම, වසන්ත කොටුවැල්ල, අයිරාංගනී සේරසිංහ වගේ මේ ක්ෂේත්‍රයේ අති දක්ෂ, ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ රංගධරයන් එක්ක මට එකට රඟපාන්න, දින සති මාස ගණන් එකට ඉඳගෙන වැඩ කරන්න ලැබුණා. කිසි කුහකකමක් නැතුව ඒ අය මාව යහ ගුණයෙන් පිරෙව්වා. ළමා නළුවෙක් හැටියට මට ඇතිවෙන්න ආදරය දුන්නා. ජනප්‍රියත්වයේ ඉහළ ම තලයකට පොඩි කාලෙදීම මට එන්න ලැබුණා. ඒ කාලේ විශිෂ්ටයන්ගෙන් මං ඉගෙන ගත් වටිනා යමක් තිබුණා. අදටත් මං විශ්වාස කරන හා පිළිගන්නා ඒ දේ තමයි ‘නළුවෙක් හදන්නේ තරුවක් වෙන්න නෙවෙයි’ කියන දේ..”

අමිත්ත පවසන ආකාරයට ජනප්‍රිය වීමට අවස්ථාවන් අද කොපමණ තිබුණත් තමා අතීතයේ අත්විඳි ජනප්‍රියත්වයේ සතුට සුවිශේෂ බවයි.

“ඒ කාලේ රියැලිටි කතන්දර නෑ. රූපවාහිනී නාළිකාවලට ඇවිත් සින්දු කියන්න නටන්න දඟලන්න නෑ. ලයික්ස්, කමෙන්ට්ස් තිබුණෙත් නෑ. පාසල් ශිෂ්‍යයාගේ ගරුත්වයත් රැකගෙන අසීමිත ජනප්‍රියත්වයක් මම ලැබුවා. ඒ ජනප්‍රියත්වය රංගනය නිසා ම ලැබුණු එකක් මිස ජනප්‍රිය වෙන්න කියලා රඟපෑම හැර වෙන බොහෝ දේ කරලා ලබා ගත්ත ප්‍රසිද්ධියක් නෙවෙයි.”

එතරම් අව්‍යාජ ජනප්‍රියත්වයකට හිමිකම් කී අමිත්ත පසුකාලීන ව පසුබෑමකට ලක් වූයේ දැ යි අපට සිතුණි.

“මෙගා රැල්ල එක්ක මට දුවන්න අවශ්‍ය වුණේ නෑ. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි රංගධරයනුත්, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි ගමගේ වැනි ප්‍රාමාණිකයන් හා කුසුම් දිසානායක වැනි ගුරු මවුවරුන් නිසාම ‘තරු’ සංකල්පය මගේ හිතට එන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා චරිත හඹාගෙන යන්න මට ඕනෙ වුණෙත් නෑ. ඒක පසුබෑමක් ද නැද්ද කියනවාට වඩා මට හිතෙනවා රංගන ක්ෂේත්‍රයේ මං අද ඉන්න ස්ථාවරය ඉතා නිවැරදි හා නිශ්චිත එකක් කියලා.”

දශක හතරක රංගන චාරිකාවේ දී සම්මාන ඇගයුම් බොහොමයකට හිමිකම් කියූ ඔහු පසුගිය වසරේදීත් ටෙලි සම්මාන උළෙලේ දී “හේළංකඩ” ටෙලි නාට්‍යයේ චරිත නිරූපණය වෙනුවෙන් නිර්දේශ වන්නට සමත් වීම එයට සාක්ෂි සපයයි.

අමිත්ත සමඟ එකඟ වන්නට අපට බොහෝ සාධක ගෙන එන්නේ “රාවණා” ටෙලි නාට්‍යයේ ඔහුගේ ප්‍රතිභාන්විත රංගන කෞෂල්‍යය යි. සාත්වික අභිනය ප්‍රබල ලෙස යොදා ගනිමින් ‘පුලස්ථි සෘෂි’ ගේ චරිතයට ඔහු එහිදී අතිශයින් සාධාරණය ඉටු කළේ ය.

“තුෂාර තෙන්නකෝන් කියන්නේ ඉතිහාසය පිළිබඳ බොහෝ හැදෑරීම් කරන කෙනෙක්. අධ්‍යක්ෂවරයා ලෙස ‘රාවණා’ පිළිබඳ ඔහුගේ ලොකු උනන්දුවක් තිබුණා. නිර්මාණයේදි අවශ්‍ය වුණේ රාවණා ඇත්තද කිය කියා ඉන්නේ නැතුව එවන් දැවැන්ත පෞරුෂයක් සහිත ඉතිහාසයක් අපට තිබුණා කියන විශ්වාසය මතින් නිදා වැටෙන වර්තමාන මිනිස් සන්තානයේ සෘණාත්මක ආකල්ප අකා මකා දමා රටක්, ජාතියක් හැටියට යළි ගොඩනැ‌ෙඟන්න මිනිස් සිත අවදි කරවීමට යි. එය අතිශය සාර්ථක වුණා. නමුත් මට පෙනෙන හා දැනෙන දේ තමයි රාවණ කෙනෙක් යළි මේ සමාජයෙන් ගොඩනඟන්න පුළුවන් බව සැබෑවක් වුණත්,

ධන, බල, උස්, මිටි කිසිදු තෝරා බේරා වෙන්කර ගැනීමකින් තොර ව සමස්ත රටවැසියන්ව ම එක විදිහට මෙහෙයවලා, ‘අපි යක්කු බොලව්, මේ අපේ රට බොලව්’ කියලා මුළු හදවතින් ම රටක් වෙනුවෙන් සමස්ත ජනතාවත් සමඟ මේ මහා පොළොව මත නැඟී සිටීම වගේ ම එලෙස පවතින්නත් රාවණට හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි කියන එක. ඒ සඳහා ජන නායකයන් විතරක් නෙවෙයි රට වැසියනුත් අපේ දේ අගයන, අපේ දේ ඔසවා තබන, සැබෑ දේශහිතෛෂී පිරිසක් බවට පෙළගැසිය යුතුයි. යන්තම් හිස කඳ උස් වුණු ගමන් මේ රට දාලා වෙන රටකට යන්න හීන මවන මානසිකත්වයකින් නම් රාවණ කෙනෙක් මේ රටේ බිහි කරන්න හෝ පවත්වාගෙන යන්න බැරි වෙයි. ඒකට අතීතයේ අපට තිබුණා වගේ සුවිශාල චින්තන රටාවක් ඕනේ. අන්තේවාසිකයන් සහ වන්දි භට්ටයන් පිටුදැක විදෙස් බලවේගවලට එරෙහි ව නැඟී සිටිය හැකි රාවණ පරපුර බිහිවන්නේ ඒ ලෙසයි.”

පවතින වසංගත තත්ත්වය දෛනික කටයුතු කෙරෙහි බලපා ඇති අයුරු පිළිබඳව ද අපි අමිත්තගෙන් ඇසුවෙමු.

“මම මගේ උසස් අධ්‍යාපන කටයුතු මේ දවස්වල ගෙදරට වෙලා කරගෙන යනවා. අත්දැකීම් එකතු කරලා “කන්කොටාගේ ප්‍රේමය සහ තවත් කතා” නමින් කෙටිකතා සංග්‍රහයක් කළා. ඊට අමතර ව පරාක්‍රම නිරිඇල්ලගේ අපදානය ලියාගෙන යනවා. රටේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා.

ජනේලයකින් එළිය බැලුවා ම මහා පාරේ නැව් හැර සියලු වාහන යනවා පේනවා. බොහෝ දෙනෙකුට කිසිම විනයක් නෑ. තත්ත්වය යහපත් වුණා ම වැඩ කරන්න අලුත් චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් ලැබිලා තියෙනවා. අපි සුබවාදී ව ඉදිරිය බලමු.”

0 comment
0

Related Posts

Leave a Comment