Home දේශීය පුවත් නව සංචාරක කලාප 4ක් ගැසට් කිරීමට යයි

නව සංචාරක කලාප 4ක් ගැසට් කිරීමට යයි

by Hela news

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දෙමින් එම සංචාරක කලාප ගැසට් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව මේ වනවිට සංචාරක කලාප 7ක් ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව දෙනියාය ඇතුළු නව සංචාරක කලාප හඳුනාගෙන තිබෙන බවද ඒවා ඉතා ඉක්මණින් ගැසට් කිරීමට පියවර ගන්නා බවද සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට කෙරෙන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව නව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවද නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට සංචාරක කලාප මේ වනවිට ක්‍රියාත්මක බවද සඳහන් කරයි.

ඊට අමතරව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්ව නැති සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් රට පුරා පිහිටා තිබෙන අතර, එම සංචාරක කලාප හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දෙන ඇමැතිවරයා නව සංචාරක කලාප ප්‍රකාශයට පත් කිරීමේදී දැනට හඳුනාගෙන ඇති නිර්නායක යාවත්කාලීන කිරීමටද සිදුව ඇති බව කියා සිටී.

මෙරට සංචාරක කර්මාන්තය වසර 2025 වනවිට අමෙරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් ජාතික ආර්ථිකයට දීම ඉලක්ක කර ගනිමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණද එය යථාවත් කිරීම සඳහා මේ වනවිට රජයට ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටී.

තිරසර සංචාරක කර්මාන්ත සංවර්ධනය එහි එක් අරමුණක් වන අතර, ඒ අනුව නව සංචාරක කලාප හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 6,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මහා මාර්ග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන, වනජීවි සංස්කෘතික හා පළාත් පාලන යන අමාත්‍යාංශ ඒකාබද්ධව මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

0 comment
0

Related Posts

Leave a Comment