Home ක්‍රීඩා පුවත් නවසීලන්තය පළමු වරට අවසන් සටනේ තැන වෙන් කර ගනී

නවසීලන්තය පළමු වරට අවසන් සටනේ තැන වෙන් කර ගනී

by Hela news

විස්සයි20  ලෝක කුසලාන ක්‍රිකට් 

 ඩැරිල් මිචෙල්ගේ විස්සයි20 මංගල අර්ධ ශතකයත්, ජෙම්ස් නීෂම්ගේ වේගවත් ඉනිමත් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්තය ඊයේ සමත් විය.

අබුඩාබිහි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය කඩුලු 5කින් පරාජය කරමින් නවසීලන්තය මේ අවස්ථාව උදා කර ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය කඩුලු 5ක් දැවී තිබියදී ජය හිමි කර ගත්තේ පන්දු වාරයක් ද ඉතිරි කර ගනිමිනි.

අවසන් වරට 2016 වසරේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය හමුවේ පරාජය වීමෙන් නවසීලන්තයට අවසන් තරගය අහිමි වූ අතර, මෙවර එම ප්‍රතිඵල අනෙක් පිට පෙරළීමට කේන් විලියම්සන් ප්‍රමුඛ පිරිවරට හැකි විය. එවර ද එංගලන්ත කණ්ඩායම මෙහෙයවූයේ ඔයින් මෝගන් විසිනි. නවසීලන්ත පිළිතුරු ඉනිමේ තෙවැනි ඕවරය වන විට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් (4) සහ නායක කේන් විලියම්සන් (5) යළි ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් විය. එහෙත් එක් අන්තයක් රැකගත් ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියේ මංගල විස්සයි20 අර්ධ ශතකය ද රැස් කරමිනි. තෙවැනි කඩුල්ලට ඩෙවොන් කොන්වේ සමඟින් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැඟූ මිචෙල් එම සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව 5 වැනි කඩුල්ලට එක් වූ ජෙම්ස් නීෂම් සමඟින් කණ්ඩායමට බලාපොරොත්තු ගෙන ආවේ පන්දු 17කින් ලකුණු 40ක් රැස් කරමිනි.

ඕවර 16ක් වන තුරු නවසීලන්ත පිතිකරුවන් බැඳ තබා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුවද 17 වැනි ඕවරයෙන් ලකුණු 23ක් රැස් කරමින් පීඩනයෙන් මිදීමට මිචෙල් සහ නීෂම් සමත් වූහ.

පන්දු 11කින් ලකුණු 27ක් රැස් කර සිටි නීෂම් මුළු ලකුණු 147දි දැවී ගිය පසු තවත් පන්දු 6කින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 20 රැස් කිරීමට මිචෙල් සමත් විය. පන්දු 47කට මුහුණ දුන් ඔහු හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි.

එංගලන්ත ඉනිමේ ලකුණු 53කට කඩුලු 2ක් අහිමි වීමෙන් පසු පිටියට පිවිසි මොයින් අලි සිය තෙවැනි විස්සයි20 අර්ධ ශතකය රැස් කරමින් කණ්ඩායම ලකුණු 166 සීමාවට රැගෙන යෑමට සමත් විය. මීට දින කිහිපයකට පෙර ලොව අංක එකේ පිතිකරු බවට පත්ව සිටි ඩේවිඩ් මාලන් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 43කින් ලකුණු 63ක් එක් කළ අලි එම සබඳතාව බිඳ වැටීමෙන් පසු ලියම් ලිවින්ග්ස්ටන් (17) සමඟින් ලකුණු 40ක් එක් කළේ පන්දු 24කිනි. පන්දු 30කට මුහුණ දුන් මාලන් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් රැස් කළ අතර, හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 51ක් රැස් කිරීමට අලි වැය කළේ පන්දු 37ක් පමණි.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි ආබාධයකට ලක් වීම හේතුවෙන් ජොස් බට්ලර් සමඟ ඊයේ එංගලන්ත ඉනිම ආරම්භ කළ ජොනී බෙයාර්ස්ටෝව්ට මුහුණ දිය හැකි වූයේ පන්දු 17කට පමණි. හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් රැස් කර සිටි ඔහු ඇඩම් මිල්නේගේ පන්දු හමුවේ මුළු ලකුණු 37දී දැවී ගිය අතර, තවත් ලකුණු 16ක් වෙද්දී බට්ලර්ගේ ඉනිම ලකුණු 29කින් නතර කිරීමට ඉෂ් සෝධි සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

එංගලන්තය – 166/4 (ඕවර 20) මොයින් අලි නොදැවී 51, ඩේවිඩ් මාලන් 41

නවසීලන්තය – 167/5 (ඕවර 19) ඩැරිල් මිචෙල් නොදැවී 72, ඩෙවොන් කොන්වේ 46 (ලියම් ලිවින්ග්ස්ටන් 20/2, ක්‍රිස් වෝක්ස් 36/2)

0 comment
0

Related Posts

Leave a Comment