Home ක්‍රීඩා පුවත් ධනංජය තනි අතින් ඉනිම ඇදගෙන යයි.

ධනංජය තනි අතින් ඉනිම ඇදගෙන යයි.

by Hela news

ශ්‍රී ලංකාව ලකුණු 279ක් ඉදිරියෙන්

ධනංජය ද සිල්වාගේ සටන්කාමී ඉනිම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඊයේ නිමා වන විට දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 49ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 279ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 2ක් ද අතැතිවය.

ඊයේ පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ධනංජය ලකුණු 153ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 25ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු 259කදී හතරේ පහර 11ක් හයේ පහර 2ක් එල්ල කළ ධනංජය ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 සීමාව පසු කළ තෙවැනි අවස්ථාව මෙයයි.

ඔහුට ඉනිම ගොඩනැඟීමට අගනා සහායක් දුන් ඇඹුල්දෙණිය 8 වැනි කඩුල්ලට ලකුණු 107ක් එක් කර තිබූ අතර, ඉන් ලකුණු 82ක්ම රැස් කරනු ලැබුවේ ධනංජය විසිනි.

නවක පිතිකරු චරිත් අසලංක (19) ඊයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු ඉනිම පිටියට පිවිසි ධනංජය ලකුණු 5ක් රැස් කර තිබියදී දුන් උඩ පන්දුව අත්හැරීම මනාව ප්‍රයෝජනයට ගනිමින් දිනය නිමා වන තෙක්ම කඩුල්ල රැක ගැනීමට සමත් වූයේ 8 වැනි ටෙස්ට් ශතකය ද රැස් කරමිනි.

සිව්වැනි කඩුල්ලට ලකුණු 78ක් එක් කිරීමෙන් පසු නිස්සංක ලකුණු 66කට දවා ගැනීමට රොස්ට්න් චේස් සමත් වූ අතර, මුළු ලකුණු 157දී 5 වැනි කඩුල්ල ලෙස චන්දිමාල් ලකුණු 2කට දැවී යෑමෙන් පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වූ ධනංජය ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමේ වගකීම කරට ගත්තේය. 8 වැනි කඩුල්ලේ සබඳතාවට පෙර රමේෂ් මෙන්ඩිස් (25) සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක් කිරීමට ද ධනංජයට හැකි විය.

පාදයේ ආබාධයකට ලක්ව සිටි මැතිව්ස් 7 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසුණ ද ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණක් පමණි.

අද තරගයේ අවසන් දිනයයි.

0 comment
0

Related Posts

Leave a Comment