Home උණුසුම් පුවත් දේශීය වෛද්‍ය අංශයට 7,500ක මාසික දීමනාවක්

දේශීය වෛද්‍ය අංශයට 7,500ක මාසික දීමනාවක්

by Hela news
  • පරිපූරක-අතුරු වෛද්‍ය විශ්‍රාම වයස අවු­රුදු 63 දක්වා ඉහළට
  • ලියාපදිංචි-සහකාර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා වැඩි කෙරේ

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවන්හී නිරත වන සේවක සේවිකාවන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉටු කරනු ලබන සේවාව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සුවිශේෂි යෝජනා තුනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රජයේ සහ පළාත් සෞඛ්‍ය සේවාවන්හි සෞඛ්‍ය සේවක සේවිකාවන් හට අනුමත කොට ඇති රුපියල් 7,500ක විශේෂ මාසික දීමනාව දේශීය වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට ද ගෙවීමේ යෝජනාවක් ඒ අනුව ඇමැතිවරයා ඉදිරිපත් කර තිබේ.

අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා සමාන අවදානමක් ගනිමින් මහජනතාවට ඉටුකරනු ලබන සේවය ඇගයීමක් වශයෙන් දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයටද මෙම වසරේ ජූනි මස සිට මාස තුනක කාලයක් සඳහා රුපියල් 7,500 දීමනාව ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇත.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින නිවාරණ හා ප්‍රතිකාර සේවාවලට අදාළ රාජකාරී ඉටුකරනු ලබන ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල මෙම දීමනාවට හිමිකම් කියනු ඇත.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක් ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් හිමිව ඇති අතර හෙද සේවයට සමානව බඳවා ගැනීම් හා පුහුණුවීම්වල යෙදෙන පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවවලටද එම හිමිකම ලැබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත.

පරිපූරක වෛද්‍ය සේවාව තනතුරු හයකින්ද අතුරු වෛද්‍ය සේවාව තනතුරු දහතුනකින්ද සමන්විත වන අතර විශ්‍රාම යාම, විදේශ ගත වීම හා සේවය අතහැර යාම වැනි කරුණු හේතුවෙන් මෙම සේවාවල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතියි.

නවක නිලධාරියකු පුහුණු කිරීම සඳහා වසර එකහමාරක් දෙකක් අතර කාලයක් ගත වන බැවින් එම පුරප්පාඩු පිරවීම ගැටලුවක්වත පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීම එම ගැටලුවට පිළියමක් වන අතරම අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සේවය සෞඛ්‍ය සේවාවට අඛණ්ඩව ලබාගැනීමටද හේතු වන බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දී ඇත.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනා සීමාව වැඩි කිරීම අදාළ යෝජනාවක් ද රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ රෝග ප්‍රතිකාර හා මර්දන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනා සීමාව මේ වන විටත් වැඩි කොට ඇති අතර ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ටද එම සහනය හිමි විය යුතු බව මේ අනුව රජයේ අදහස වි තිබේ.

ඒ අනුව නිලධාරීන්ගෙන් කොටසක් පමණක් සේවය වාර්තා කළ යුතු ඒකක, අංශ සහ රෝහල් සඳහා දැනට පවතින දිනකට උපරිම අමතර රාජකාරී දීමනාව පැය 04 සිට පැය අට දක්වා ඉහළ නැංවීම සහ මාසික උපරිම කාල සීමාව නොවෙනස්ව තැබීමට නියමිතය. සෑම දිනකම සේවයට වාර්තා කළ යුතු ඒකක සහ රෝහල් රාජකාරී සඳහා දැනට පවතින දිනකට උපරිම අමතර රාජකාරී දීමනාව පැය 04 සිට පැය 08 දක්වා ඉහළ නැංවීමට නියමිත අතර මාසික උපරිම කාල සීමාව පැය 120 සිට පැය 180 දක්වා ඉහළ නැංවෙනු ඇත.

මෙම රාජකාරී දීමනා සංශෝධනය ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන් සඳහා මැයි මස 01 වැනි දා සිට අගෝස්තු මස 31 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment