Home දේශීය පුවත් දේශීය ආයතනවලට බාහිර යන්ත්‍රණයක් සැකසීම අහිතකරයි – විදේශ කටයුතු ඇමැති

දේශීය ආයතනවලට බාහිර යන්ත්‍රණයක් සැකසීම අහිතකරයි – විදේශ කටයුතු ඇමැති

by Hela news

දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව දීම අවශ්‍ය නමුත් එම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර ක්‍රියාවලියක් බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යන්ත්‍රණයක් පැවතීම අපරිණත හා නුසුදුසු බවද එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනිවන බවත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරය අතරතුරේ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය හමුවූ අවස්ථාවේදී ජී එල් පීරිස් මහතා පැවසීය.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ ඇමැති මාරිස් පේන් මහත්මිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳ සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ ඇමැති පේන් මහත්මිය, ශ්‍රී ලංකා අගමැතිවරයා වෙත ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ අතර, දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අගමැතිවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව සඳහන් කර තිබේ.

වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඔස්ට්‍රේලියාව සතු අත්දැකීම ගැන සඳහන් කළ විදේශ ඇමැතිවරයා, මෙම ක්ෂේත්‍රයේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පවසා තිබෙන අතර මිනිස් ජාවාරම සම්බන්ධයෙන්, මෙය මානුෂීය ඛේදවාචකයක් බවත්, මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇති බවත් සඳහන් කර ඇත. රටේ උතුරු හා නැඟෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ඇමැති පීරිස් මහතා ඇමැති පේන් මහත්මියට දැනුම් දී තිබෙන අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාංශය (ONUR) හා වර්තමාන තත්වය පිළිබඳ තක්සේරු කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිස ක්‍රම සහ විධි හඳුනා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කරන විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුතුව කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධව විස්තර කර තිබේ. දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබාදීම අවශ්‍ය බවත්, මෙම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කර තිබෙන අතර ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් පැවතීම අපරිණත හා නුසුදුසු බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනිවන බවත් සඳහන් කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment