Home විදෙස් පුවත් දේශපාලනයට ආ ඉන්දියාවේ මාලිනී

දේශපාලනයට ආ ඉන්දියාවේ මාලිනී

by Hela news

මම නැටුම් ශිල්පිණියක් වෙන්නයි හිතාගෙන හිටියේ. ඇත්තටම මට නිළියක් වෙන්න කිසිම ආසාවක් තිබ්බේ නෑ. මම නිළියක් වුණේ මගේ අම්මාගේ ආසාවකට, ඒ වගේම මම දේශපාලනයට ගෙනාවේ මට ආදරය කරන මගේ රටේ ජනතාවයි….   


මේ ඉන්දීය දේශපාලන අඹරේ දිදුලන බොලිවුඩ් තරු අතර ඉදිරියෙන්ම සිටින තවත් තරුවක වූ බොලිවුඩයේ සිහින කුමරිය (ඩ්‍රීම් ගර්ල්) වන හේමා මාලිනීගේ හඬය. ඇය වෙනුවෙන් අද අල්ලපු රටේ සුප්‍රසිද්ධ තාරකාවියන්ගේ තීරුව වෙන් වේ. 

 
 තමිල්නාඩුවේ, අම්මන්කුඩි, ප්‍රදේශයේ දී 1948 ඔක්තෝබර් 16 වැනිදා උපත ලැබූ හේමා මාලිනී නොහොත් හේමා මාලිනී චක්‍රවර්ති ඉන්දියානු නිළියක, අධ්‍යක්ෂකවරියක, නිෂ්පාදිකාවක, නර්තන ශිල්පිනියක සහ දේශපාලනඥවරියක ලෙසින් සියලු‍ භූමිකාවන්හී සමත්කම් පෑ කාන්තාවක යැයි කිවහොත් නිවැරදිය.   
ඇයගේ දේශපාලන ගමන් මග ඇත්තේ ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය හෙවත් බීජේපීය සමගිනි. සිනමාව පසෙකලා 2004දී හින්දු ජාතිකත්ව මතධාරී බීජේපී ‌යේ සාමාජිකාවක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ එවකට එම පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයෙකු වූ අරුන් ජෙයෙට්ලී ආරාධනයෙන් හා එවකට එම පක්ෂයේ බිහිවූ පාලක අගමැති වූ අතල් බිහාර් වජ්පායිගේ ආශිර්වාදයෙනි..   
එලෙස ආ දාහත් වසරක ගමන් මග තුළ ඇය වර්තමානයේ දී දෙවැනි වතාවටත් දකුණු ඉන්දියාවේ මථුරා දිස්ත්‍රික්කය නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන්නීය.   
දේශපාලන භූමිකාව තුළ සම්ප්‍රදායික ඉන්දීය හින්දු ජාතිකත්ව දේශපාලනඥවරියක වන හේමා මාලිනිය එරට ආගමික හා සංස්කෘතික ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හැමවිටම පෙනී සිටින්නීය. ඇය ඒ සදහා සමාජ මාධ්‍ය ඉතා සූක්ෂම ලෙසින් භාවිත කරන කාන්තාවක් ද වන්නීය.   


මේ වනවිට 73 හැවිරිදි වියේ පසුවන ඇය, මීට දශක පහකට පෙර එනම් 1963 දී තම රංගන දිවිය ඇරඹූයේ දෙමළ චිත්‍රපටයක් වූ ”‍ඉදු සතියම්”‍ හි නර්තන ශිල්පිනියකගේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. මාලිනී පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ සප්නෝ කා සෞදගර් (1968) තුළ වන අතර, ඇය බොලිවුඩ් චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉන් බොහෝ චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණේ ඇගේ සැමියා වූ ධර්මේන්ද්‍ර සමග හෝ රාජේෂ් ඛන්නා සහ දේව් ආනන්ද් යන නළුවන් සමග ය.   


මුලින් හේමා මාලිනී ප්‍රවර්ධනය කරන ලද්දේ එවකට හින්දි සිනමාවේ ‘‘සිහින යුවතිය”‍ ලෙසය. 1977 වසරේදී, එම නාමයම ඇති චිත්‍රපටයක ඇය ප්‍රධාන චරිත නිරූපණය සමග ඇය ප්‍රධාන පෙළේ නිළියක බවට පත් වූවාය. නර්තන දායකත්වයන්ට අමතරව ඇය ප්‍රහසන මෙන්ම නාට්‍යමය චරිත ද නිරූපණය කොට තිබීම ද විශේෂත්වයකි.   


චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පෙනී සිට මේ තාරකාවිය සිය රංගන දිවිය තුළ හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානයට එකොළොස් වරක් නිර්දේශ වූ අතර, 1972 දී එම සම්මානය දිනා ගැනීමට සමත් වූවා ය. 2000 වසරේදී හේමා මාලිනී විසින් ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය හිමි කරගත් අතර, ඉන්දියානු රජ‍ය විසින් පිරිනමන සිව්වන ඉහළම ජනතා ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.   
2012 වසරේ දී ඉන්දියානු සිනමාවට දැක්වූ දායකත්වය අගයනු වස් ශ්‍රීමත් පාදම්පාත් සිංහානියා විශ්වවිද්‍යාලය විසින් ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.   


මාලිනී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය ද උසුලා ඇත. 2006 දී මාලිනී හට දිල්ලියේ භජන් සෝපොරි වෙතින් සංගීත සහ අභිවාහ්‍ය කලා පිළිබඳ සෝපොරි ඇකඩමියේ විතස්ත සම්මානය පිරිනැමුණේ ඉන්දියානු සංස්කෘතිය සහ නර්තනය වෙනුවෙන් ඇය සිදුකළ දායකත්වය වෙනුවෙනි. 2013 දී ඉන්දියානු සිනමාව වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය උදෙසා ආන්ද්‍ර ප්‍රදේශ් රජය විසින් ඇයට ප්‍රාන්ත ජාතික සම්මානය පිරිනමා ඇත. 

  අගමැති මෝදි සමග

හින්දි සිනමාවේ සිහින කුමරිය වූ ඇය 2003 සිට 2009 දක්වා, පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය සභා සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස තරග වැදුණ තැනැත්තියක ද වේ.   
1999 වසරේ දී ,හේමා මාලිනී භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයකු වූ හිටපු බොලිවුඩ් නළුවකු වූ විනෝද් ඛන්නාට සහයෝගය පළ කරමින් මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ වූවාය. ඛන්නා පන්ජාබයේ ගුර්දාස්පූර් ඡන්ද කොට්ඨාසයෙන් ලෝක් සභා මැතිවරණයට සහභාගී විය. 2004 පෙබරවාරි මස මාලිනී නිල වශයෙන් බීජේපී පක්ෂය සමග සම්බන්ධ වූවා ය. 2003 සිට 2009 දක්වා සය වසරක් ඇය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ හෙවත් රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු සාමාජිකාවක ලෙස කටයුතු කළා ය. ඇයව නිර්දේශ කරන ලද්දේ එවකට ඉන්දියානු ජනපති වූ ආචාර්ය ඒ.පීජේ. අබ්දුල් කලාම් විසිනි.   


හේමා මාලිනී සිය දේශපාලන ජීවිතයට අමතරව විවිධ සමාජ සේවා කටයුතුවළ නිරතවන්නියක ද වේ. පෙටා ඉන්දියා නැමැති සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයේ ආධාරකාරිණියක් වූ ඇය 2009 දී මුම්බායි මහනගර කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඔහුගෙන් ඉල්ලා තිබුණේ මුම්බා‍යේ ජනාකීර්ණ මාවත්වල අශ්ව රථ ධාවනය තහනම් කරන ලෙසය‍. 2011 වසරේදී එවකට පරිසර සහ වනාන්තර සඳහා ඒකාබද්ධ අමාත්‍යවරයා වූ ජයිරාම් රමේෂ් වෙත ලිපියක් ලියමින් ඇය ඉල්ලා සිටියේ ගොන් පොර හෙවත් ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් කරන ලෙසයි. ඇය පැවසූයේ, ”‍ජල්ලිකට්ටු සිදුවීම් පිළිබඳ විමර්ශන දියත් කළ පෙටා සංවිධානයේ වාර්තා කළේ මෙම තරගයේ දී ගවයන්ගේ නාස් වළලු‍වලින් තදින් අදින බවත්, ඔවුනට තියුණු කෝටුවලින් තලන බවත් ය. එසේම එහාමෙහා චලනය වීමටවත් නොහැකි ලෙස ඔවුන්ව තදින් ට්‍රක් රථවලට පටවනු ලබන බවය. ඇයගේ මෙම ප්‍රකාශය ඇය තමිල්නාඩුව තුළ ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයට බලපෑම් එල්ල කරන්නක් වූ අතර, ඇය එම වසරේ දී වසරේ පුද්ගලයාට හිමි පෙටා සම්මානය ද ලබා ගත්තාය. 

 ජනතාව අමතමින්…


ධර්මේන්ද්‍ර සමග රඟපෑ මාලිනීගේ පළමු චිත්‍රපට වූයේ ෂරාෆත් (1970)ය. 1979 දී 1979දී ඔවුහු විවාහ වූහ. ඒ වනවිටත් විවාහකයකුව සිටි ධර්මේන්ද්‍ර හට දරුවන් ‍සිටි අතර, ඉන් දෙදෙනකු වූයේ බොලිවුඩ් නළුවන් වන සනී දියොල් සහ බොබී දියොල් ය. මාලිනී ඉස්ලාම් ආගම වැළඳගත් අතර ධර්මේන්ද්‍ර හා විවාහ විය. ඔවුනට දරුවන් දෙදෙනකු ද වේ. ඔවුන් නම් බොලිවුඩ් නිළියක වන ඊෂා දියොල් සහ සහාය අධ්‍යක්ෂකවරියක වන අහානා දියොල් ය.   


වසර ගණනාවක් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් විරාමයක් ගෙන සිටීමෙන් පසු සිය නැවත ආගමනය සනිටුහන් කරමින් හේමා බාඝ්බාන් (2003) චිත්‍රපටයෙන් රංගනයට පිවිසියා ය. මෙහි රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය සඳහා ඇගේ නම යෝජනා විය.   


පුණ්‍යාධාර සහ සමාජ සේවා කටයුතු සඳහා ද දායක වූ ඇය මේ වනවිට මාලිනී විඥානය සඳහා අන්තර් ජාතික සංගමයේ යාවජීව සාමාජිකාවක ද වේ. එදා මෙදා තුර හින්දි සිනමාවේ ඉහළම සහ සාර්ථකම නිළිය වූයේ ද ඇයගේ හින්දු ජාතිකත්ව දේශපාලන රංගනය දෙස ද ඉන්දීය ජනතාව බලා සිටිනුයේ විමසිල්ලෙනි. 

0 comment
0

Related Posts

Leave a Comment