Home කාලීන පුවත් දුර­ස්ව­න්නට මේ ලෙසින් මොටද අප හමුවුණේ..

දුර­ස්ව­න්නට මේ ලෙසින් මොටද අප හමුවුණේ..

by Hela news

ගීතයක් සමහරවිට මතුපිටින් හුඟක් සරල විදිහට බොළඳ විදිහට පේනවා. ඒත් සංගීතයත් එක්ක මුසුවෙලා සුගායනීය ලෙස ඇහෙන වෙලාවට ඇතිවන හැඟීම් සංකීර්ණයි. මේ ඒ වගේ ගීයක්. තම ආදරවන්තිය අනපේක්ෂිත ලෙස නොලැබීයාම පිළිබඳ මහා වේදනාවක් මේ ගීතය තුළ පවතිනවා. වෙන්වෙන්න නම් හමුවුණේ ඇයි? මේ විදිහෙන් දුරස් වෙන්න නම් ඉපදුණේ ඇයි? මේ පෙම්වතා ප්‍රශ්න කරන ආකාරයෙන් ඔහු අත්විඳින රිදුම අසන්නා තුළ ඇතිවෙනවා.

අත් බැඳගෙන ඇවිද යන මොහොත තුළින් එක්තරා අයිතිකර ගැනීමක් පෙම්වතුන් බලාපොරොත්තු වෙනවා. ඇය මගේ ය ඔහු මගේ ය යන සන්නිවේදනය ඒ තුළ තිබෙනවා. ඒ වගේ දෙනෝදාහක් සෙනඟ මැද වුණත් අත් අල්ලාගෙන යනකොට තමන්ගේ පුංචි ලෝකයක් හැදෙනවා. ඒ ලෝකය හරිම අහිංසකයි. ප්‍රේමය සුන්දර වෙන්නෙ මේ අහිංසක කම නිසා. එක් වරක් හරි එහෙම ගිහින් තියනව නම් ඔබටත් එය දැනෙනවා ඇති.

“අත්වැල් බැඳගෙන මං මාවත් දිග

ඔහේ ඇවිදගිය කාලය මතකද

පුංචි ළදැරියක් වගේ හුරතලෙන්

ඔබ හිනැහුන ඒ කාලය මතකද“

‘ඔහේ ඇවිද ගිය‘ කියන යෙදුම ප්‍රේමයේ නිදහස් බව ප්‍රදර්ශනය කරනවා. ඒ ගමනේ අවසානයක් නෑ. අවශ්‍ය වෙන්නෙ කාලය ගත කිරීම විතරයි. මේ පෙම්වතාට අතීතය පිළිබඳව චිත්‍රයක් තිබෙනවා. ඇගේ අහිංසක හිනාව විදුලියක් වගේ ඔහු ඉදිරියේ මැවෙනවා. ඒ සමඟම අහිමි වීමේ වේදනාව තව තවත් වැඩි වෙනවා. කාලය විසින් තවම ඒ වේදනාවට පිළියමක් දීලා නෑ.

අජන්තා රණසිංහයන්ගේ ගීත තුළ විරහව උපරිමයේ මවන්න සමත් වූ අවස්ථා බහුලයි. ඔහු විරහව හොඳින් අත්විඳපු කෙනෙක්. එක්තරා යුගයක අජන්තා රණසිංහයන් එකල තම පෙම්වතිය සමඟ නිතර නතර වන ගහක් තිබෙනවා. පෙම්වතිය පසුකලෙක ඔහුට අහිමි වෙනවා. එහෙත් ඒ ගස දකින වාරයක් පාසා ඔහුගේ විරහව වැඩි වෙනවා. ඔහු ඒ හැඟීම මෙහෙම ලියා තිබෙනවා.

“මේ මැයි ගහ යට

දවසක් දා

වැස්සට අපි උන්නා

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි

අපට සෙවණ දුන්නා…..“

ඒ හැඟීම ඒ අයුරින්ම දුරස් වන්නට ගීතයේත් තිබෙනවා.

අනාගතය ගැන අහස් මාළිගා

අප දෙන්නා මැවු කාලය මතකද

ඔබේ පෙම්වතා ලෙසින් එදා මා

ඔබේ ළඟින් උන් කාලය මතකද

ඔවුනට එකල අනාගත සැලසුම් තිබෙන්නට ඇත. ඒ සියල්ල මේ මොහොතේ අහස් මාළිගා බවට පත්වී තිබේ. එය මේ මැයි ගහ යට ගීතයේ අජන්තා මෙසේ සටහන් කරයි.

“වැහි පොද වැටුණත් ඉස්සර වාගේ

මැයිමල් පිපුණත් රතට රතේ

අප දෙදෙනකු නැත අද මා පමණයි

මැයිගස් සෙවණේ අඳුරු පෙතේ…..“

ජීවිතය ඇතැම් වෙලාවට එක එක විදිහට තුවාල වෙනවා. සමහර තුවාල ඉක්මනට හොඳ වෙනවා. සමහර තුවාල හුඟක් රිදුම් දෙනවා. මේ ගීතය තුළ තිබෙන්නෙ එවැනි රිදුම් දෙන ආදරයක්.

අත්පටලාගෙන ඇවිදි පෙම්වතුන් දකින වාරයක් පාසා මේ පෙම්වතාට රිදෙනවා ඇති. කඳුළු බිඳුවක් ඇහෙන් නොවැටුණාට හදවතේ ගැඹුරුම තැනක හැංගිලා ඇති.

දුරස්වන්නට මේ ලෙසින්

ඇයිද අප හමුවුණේ

දුරස්වන්නට මේ ලෙසින්

මොටද අප ඉපදුණේ

අත්වැල් බැඳගෙන මං මාවත් දිග

ඔහේ ඇවිද ගිය කාලය මතකද

පුංචි ළදැරියක් වගේ හුරතලෙන්

ඔබ හිනැහුණ ඒ කාලය මතකද

අනාගතය ගැන අහස් මාළිගා

අප දෙන්නා මැවු කාලය මතකද

ඔබේ පෙම්වතා ලෙසින් එදා මා

ඔබෙ ළගින් උන් කාලය මතකද

0 comment
0

Related Posts

Leave a Comment