Home ක්‍රීඩා පුවත් දිමුත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම සවිමත් වෙයි

දිමුත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම සවිමත් වෙයි

by Hela news

පැතුම් සහ ධනංජයගෙන් අර්ධ ශතක

දිමුත් කරුණාරත්නගේ නායකත්වයේ ඉනිමත්, අර්ධ ශතක රැස් කරමින් පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා දුන් අගනා සහායත් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 267ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයක පසු විය.

පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට දිමුත් කරුණාරත්න ලකුණු 132ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 56ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. දෙදෙනා අතර, සිව්වැනි කඩුල්ලට ගොඩනැඟුණු නොබිඳුණු සබඳතාව ලකුණු 97කි.

ඊයේ සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත් දිනය නිමා වන විට පන්දු 265කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් එල්ල කර තිබූ අතර, හතරේ පහර 5ක් එල්ල කළ ධනංජය පන්දු 77කට මුහුණ දෙමින් 9 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර තිබිණි.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න සමඟ එක් වූ පැතුම් නිස්සංක කොදෙව් පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින් පළමු කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් ගොඩනැඟුවේය.

තරගය දිවා විවේකය සඳහා නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 61ක් රැස් කර සිටි දිමුත් – පැතුම් සබඳතාව සවස තේ පානයට ඕවර 8ක් පමණ තිබියදී බිඳ දැමීමට ශෙනන් ගේබ්‍රියෙල් සමත් වූයේ පැතුම්ගේ පිත්තෙන් ඇදී ආ උඩ පන්දුව රකීම් කොන්වෝල් රැක ගැනීම හේතුවෙනි. මුළු ලකුණු 139දී පැතුම් දැවී යන විට සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලකුණු 56ක් රැස් කර තිබුණේ පන්දු 140කදී හතරේ පහර 7ක් සමඟිනි. කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි අංක 3 පිතිකරු ඕෂධ ප්‍රනාන්දු මෙන්ම හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට ද පිටියේ ස්ථාවර වීමට රොස්ටන් චේස්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ලකුණු 6ක් තුළ ඔවුන් දෙදෙනාම දැවී ගිය අතර, දෙදෙනාටම රැස් කළ හැකි වූයේ ලකුණු 3 බැගිනි.

අද තරගයේ දෙවැනි දිනයයි.

0 comment
0

Related Posts

Leave a Comment