Home ගොසිප් පුවත් දැන් මම තනිකඩයි

දැන් මම තනිකඩයි

by Hela news

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත ටෙලි නිර්මාණය තුළින් කලාවට පිවිසි චන්න පෙරේරා වර්තමානය වන විට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිරකතා රචකයෙක්. පසුගිය 18 වනදා චන්නගේ නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පැවතුණා. ඒ ගැන අපි චන්න එක්ක කතා කළා.

මේ දවස්වල වැඩි කාලයක් යොදවලා තියෙන්නේ “සඳ දිය සළු” අලුත්ම චිත්‍රපටයට. කාලයක් මගෙන් ආදරණීය ප්‍රේක්ෂකයෝ ඉල්ලලා හිටියා අංජලිකා වගේ චිත්‍රපටයක්. මීට කලින් කරපු යුගාත්‍රා කියන්නේ වෙනස්ම කතා තේමාවකට කරපු ආත්ම දෙකක බෞද්ධ දර්ශනය යටි පෙළින් යන ආත්මීය බැඳීම් ගැන කතාවක්.

මේ කරන්නේ 5 වෙනි චිත්‍රපටය. ඒ නිසා මටත් හිතුණා වාණිජ සිනමාවේ උපරිම ලක්ෂණ තිබුණ අංජලිකා වගේ නිර්මාණයක් කරන්න. මෙහි ගීත තුනක් තියෙනවා. ලංකාවේ බොහොම දර්ශනීය පසුතල සහිත ප්‍රදේශවල රූ ගත කිරීම් කරන්නේ. ඒ එක්කම මේ තුළිනුත් මම අලුත් නිළියක් හඳුන්වා දෙනවා. ඇය තමයි නිම්හාරා සේනානායක. අනෙක් අතට ලොකු හීනයක් මල්ඵල ගන්වමින් මාලනී ෆොන්සේකා මහත්මියත් මෙහි රඟපානවා. ඒ නිසා “සඳ දිය සළු” ආකර්ෂණීය සිනමාව තුළ වෙනස් හැඩයක් ගත්ත චිත්‍රපටයක් වෙයි.

දැන් මතක් කරානේ නවක සිනමාවට හඳුන්වා දෙන නිම්හාරා ගැන. කොහොමද ඇයව මුණගැහෙන්නේ කියන තැනට අපි චන්නව ගෙනාවා.

නිම්හාරව හඳුන්වලා දෙන්නේ මගේ ආදරණීය මිතුරිය යශෝධා විමලධර්ම. යශෝධා තමා ඇයව සහ ඇයගේ මව මගේ නිවසට එවන්නේ. මම නිම්හාරව දකිනකොටම ඇය තුළින් විශේෂත්වයක් දැක්කා. ඇයට තියෙන්නේ අපි මේ හැමදාම දකින නිළියකගේ ස්වරූපය නෙවෙයි. මටත් ඕනේ වුණා වෙනසක් කරන්න. දකුණු ඉන්දීය නිළියන් අරන් බලන්න හරි වෙනස් ඒ මුහුණු. කඩා හැලෙන රූප සම්පත්තියක් නැහැ. සිනමාව තුළ විවිධ අය ඉන්න ඕනේ. ඒ කාලේ ගත්තම එහෙම වෙනසක් කළ කෙනෙක් තමා ස්වර්ණා මල්ලවආරච්චි. එදා එහෙම වෙනස් මුහුණු ගොඩක් තිබ්බා. අද වෙද්දී නිළියන් අඩුයි. සිනමාවට ගැළපෙන නළුවන්ට සාපේක්ෂව.

මේ චරිතයට ඇයවම තෝරාගන්න විශේෂ වූ කාරණා මොනවද අපි ඒ ගැනත් කතා නොකර කොහොමද?

ඇය කරන්නේ අනුත්තරා කියන චරිතය. පළපුරුදු නිළියන්ට පවා අභියෝගාත්මක චරිතයක්. ඒ අභියෝගය ජය ගනී කියන විශ්වාසය මට තියෙනවා. ඇයගේ හැකියාව සහ කැපවීම හොඳයි. පළමු සිනමා රංගනය නිසා අඩුපාඩු තියෙයි. හැබැයි ඒ අඩු පාඩු නොපෙනෙන්න අධ්‍යක්ෂවරයා විදියට මෙහෙයවා ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. පූජාව මම අරගෙන ගත්තෙත් අවදානමක්. ඒ අවදානම අදත් තියෙනවා.

පෙර නිර්මාණ දෙකකම යොදා ගත්තේ ඉන්දීය නිළියන්. අවසන් වර යුගත්‍රාහි මාෂි සහ මෙවර නිම්හාරා යොදා ගෙන තියෙනවා. දැන් ඉන්දීය නිළියන් යොදා ගැනීමේ අදහස සම්පූර්ණයෙන්ම ඉවත් කරලද කියන ප්‍රශ්නය මතු වුණා.
දැන් කොහොමත් මම හිතාගෙන ඉන්නේ ලංකාවේ අය යොදා ගන්න. ඒක හැබැයි තේරෙන්නේ චිත්‍රපටයක් කරන්න යනකොට නළු නිළියන් තෝරා ගන්න ගියාම. සිනමාවට අවශ්‍ය ආකර්ෂණීය දක්ෂ නළුවන් ඉන්නවා. මගේ ආදරණීය සහෝදර රංගන ශිල්පිනියන් තමා ඔක්කොම ඉන්නේ. එත් මම හැමවෙලේම කියන දෙයක් තමා ඒ ගොල්ලන්ගේ රඟපෑම් ටෙලි නාට්‍ය කලාව තුළ හැම නිර්මාණයකට ගිහිල්ලා මිනිසුන්ට අගයක් නැතිව ගිහින් තියෙනවා. එහෙම ඒ අයට කරන්න වෙනවා වෘත්තීය රංගන ශිල්පින් නිසා. මම 2006 න් පස්සේ ආර්ථික පැත්ත හිතන්නේ නැතිවම සම්පූර්ණයෙන්ම සීමා කරා ටෙලි නාට්‍ය රඟපාන එක. මෙගා නාට්‍යවල නම් මම කොහොමත් රඟපාන්නේ නැහැ. ඒ අතර හොඳ නිර්මාණයක් දෙකක් පමණක් කරා. ඒ වගේ සිනමාවට පිවිසෙනවා නම් කැප කිරීමක් කරන්න වෙනවා. මාෂිත් කියලා තියෙනවා ටෙලි නිර්මාණ කරන්නේ නැහැ කියලා. ඒ වගේම නිම්හාරත් මට පොරොන්දුවක් දුන්නා සිනමා නිර්මාණ පමණයි කරන්නේ කියලා. ඒක හරි වටිනවා. එක පැත්තකින් මම අලුත් මුහුණු හඳුන්වා දෙමින් අවදානමක් අරගෙන කරන්නේ සිනමාවේ අවශ්‍යතාවක් ඉටු කිරීම.

ඒ එක්කම මේ නිර්මාණයට නිළි රැජින යොදා ගැනීම නිසා තවත් සුවිශේෂියි. ඒ නිසා ඒ ගැන කතා නොකර කොහොමද?

අනිවාර්‌යෙන්ම. හිතන්නකෝ පුංචි කාලේ ඉඳන් චිත්‍රපට පිස්සෙක් වුණු මම ගැලරියේ වැඩිවෙලා දැවැන්ත තිරය මත මාලනී ෆොන්සේකා මහත්මිය, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය වගේ මහත්වරු රඟපානවා බැලුවේ පුදුම ආසාවෙන්. ඉතින් මේක හීනයක් හැබෑ වීමක් නෙවෙයිද? හෙළ සිනමාවේ ආකර්ෂණීයම සිනමාවේ ආදරණියම නිළිය අධ්‍යක්ෂණය කරමින් රඟපාන්න ලැබීමම ආශ්චර්යක්. මම ආදරේට කියන්නේ මාලනී අක්කා, ඇය පුදුම නිහතමානී චරිතයක්. ඒ නිසා මම දන්නවා අධ්‍යක්ෂවරයා හැටියට මට නිසි ගෞරවය දෙමින් තමන්ගේ චරිතය කරන බව. ඒ නිසා ඒකම මට පහසුවක් වෙයි ඇයව හසුරුවන්න.

ඒ එක්කම විශේෂයෙන්ම මෙහි එන ගීත ගැන කියන්න ඕනේ. ගීත තුන ලියන්නේ ප්‍රවීණ ගී පද රචකයන් දෙපළක් වන වසන්ත කුමාර කොබවක, නිලාර් එන් කාසිම් මහතා සහ අලුත් පරම්පරාවේ තරින්ද ජයලාල්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය නව පරපුරේ දක්ෂයෙක් වන නිමේෂ් කුලසිංහ. ඔහුගේත් පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය. ඒ වගේම මෙහි කැමරා අධ්‍යක්ෂ ජනක යහම්පත්ගේත් පළමු සිනමා නිර්මාණය. නවකයන් රැසකගේ එකතුවක් තියෙනවා.

මේ කාලය ගත්තම පවතින වාතාවරණය එක්ක චිත්‍රපටයක් නිර්මාණය කරන එක ලෙහෙසි පහසු නැහැ. හැබැයි එහෙම කාලයක පවා නිර්මාණයකට විය පැහැදම් කරන්න නිෂ්පාදකවරුන් ලැබීමත් වාසනාවක් නොවේද?

පැහැදිලිවම. මේක අධික පිරිවැයක් යන දැවැන්ත නිර්මාණයක්. මම හැමදාම හිතන්නේ එක නිෂ්පාදක. දෙක අධ්‍යක්ෂවරයා කියන එක. ඔවුන් නැත්නම් අපේ දක්ෂතා පෙන්නුම් කරමින් සිනමා කෘති හදන්නේ කොහොමද. ඉතින් මේ නිර්මාණය එක්ක නිෂ්පාදකවරුන් හය දෙනෙක් ඉන්නවා. ජනක එදිරිසූරිය, ෆයාස් නජීමුඩින්, ෆසාල් අහමඩ්, ප්‍රසාද් වෙල්ලාලගේ, ප්‍රසාද් ප්‍රනාන්දු, ධනුක ගමගේ. මගේ දේවල් අයින් කරලා හරි නිෂ්පාදකවරුන් ගැන සටහන් කරන්න.

මගේ ආත්මය මේ කලාව. මම මට ලැබුණු මුදල් පරිහරණය කරේ බොහොම කල්පනාවෙන්. මම කට පුරා කියනවා නළුවෙක්,අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර කතා රචකයෙක් කියන භූමිකා ඔස්සේ වෘත්තීය කලාකරුවෙක් කියලා. වෘත්තීය කලාකරුවන් වෙන්න බැහැ කියන්නේ අපේ මනසේ ඇඳුණු එකක්. වෘත්තීය කලාකරුවන් විදියට ලස්සනට තමන්ගේ අභිමානය තියාගෙන ජීවත් වෙන අතීත පරපුරකුත් හිටියා නව පරපුරකුත් ඉන්නවා. ඒ නිසා එහෙම ඉන්න බැරි නැහැ. අනිත් දේ තමා මම වැඩ කරන්නේ සුබවාදීව හිතලා. රටේ ප්‍රශ්නවත් කොරෝනාවත් මට අදාළ නැහැ. මට අදාළ මම කරන දේ හරියට කිරීම ඒ තුළින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලා මම දන්නවා.

චන්න පෙරේරා රිදී තිරයෙන් දකින්නේ තවමත් ආදරණීය පෙම්වත් චරිත තුළින්, තනිකඩයෙක් සතු නිදහස ඔහුගේ මුහුණ පුරා ලියැවී තිබෙනවා. හැමදාම මඟහරින ප්‍රශ්නය තුළ චන්නව මොහොතකට හිරකර ගත්තා.

ඕකට ගැඹුරු උත්තරයක් දෙන්නත් පුළුවන්. සරල උත්තරයක් දෙන්නත් පුළුවන්. මගේ ජීවිතේ කඩා වැටුණු කාලයක් තිබ්බා. ඒක මේ වෙද්දී හැමෝම දන්නා දෙයක්. ඒකට මූලික වෙන්නේ ගයත්‍රීවත් මමවත් නෙවෙයි. අපි දෙන්න තුළම තිබ්බ යම් යම් නොගැළපීම් එක්ක ඇති වුණු මානුෂීය ප්‍රශ්න. ඒ දේවල් නිසා විවාහය දෙදරලා ගියාම මට ඒ දේවල් දරා ගන්න බැරි වුණා. මම බෞද්ධ දර්ශනය පැත්තෙන් ආගමික පැත්තෙන් අධ්‍යාත්මික පැත්තට සෑහෙන්න නැඹුරු වුණා. ලෝකේ තියෙන හැම ආගමක්ම වගේ මම ඉගෙන ගෙන තියෙනවා. ඒ හැම ආගමකම අවසානය එකයි. ඒ දේ තේරුම් ගැනීම හරහා අපි හොයන ජීවිතය සහ මම කියන්නේ කවුද කියන ආත්ම ගවේෂණයේ යෙදුණා. ඒ හරහා මට පුදුම මානසික සුවයක් දැනෙනවා. මේ මොහොත තුළ ජීවත් වීම තුළ කාලය ගැන හැඟීමක් නැතිවෙලා සතුට හැම තිස්සෙම හදවතේ තියෙනවා. අනාගතය ගැන තඹ සතයක් බයක් හිතෙන්නේ නැහැ. රටේ මිනිස්සු තවමත් ආදරේ කියලා මට දැනෙනවා. ඒ ආදරයට මම ත් පෙරළා ආදරය කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති හැමදාම මාව තාරුණ්‍යයේ තියන එක. එහෙම කියලා මම මට නොගැළපෙන චරිත කරන්නේ නැහැ. මම කරන්නේ මගේ ප්‍රතිරූපය හාස්‍යට ලක් නොවන මට ගැළපෙන චරිත පමණයි. ජීවිතය බොහොම සැහැල්ලුවෙන් නිදහසෙන් ඉන්නකොට හරිම ලේසියි. තනිකඩව ඉන්නකොට ලැබෙන ආදරය, නිදහස මාව තවත් තරුණ කරනව කියලා මං හිතනවා.

දැන් ඔබ ප්‍රසිද්ධියේ කියනවානේ මම දැන් තනිකඩයි කියලා. ආයේ ජීවිතේ වෙනසක් වෙන්න බලපොරොත්තුවක් ඇතිවද එහෙම කියන්නේ. චන්නව අපි තවත් අමාරුවේ දැම්මා.

ඒක කාලයට භාරයි. එහෙම තනිකඩයි කියලා දකින දකින අයට ආදරේ කරන්නේ නැහැ. ඒකට හදවතට දැනෙන හදවත පෙන්වලා දෙන කෙනෙක් හමුවුණොත් වෙනසක් වෙන්න පුළුවන්. මගේ හදවත හැමදාම ආදරේට විවෘතයි. ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් ආදරේට බොහොම ආදරය කරන කෙනෙක්. මම ආදරෙයි කියලා කාගෙවත් ජීවිත වලට බලපෑමක් කරන්නෙත් නැහැ. මගේ ජීවිතයට බලපෑමක් කරනවට කැමතිත් නැහැ. ආදරය තුළ මම දකින්නේ නිදහස. ඒකට ඉතින් ආත්මීය සහකාරියක් ම හමුවෙන්න ඕනේ. ඉස්සරහට බලමු ඉතින්.

ජීවිතේ විවිධ හැල හැප්පීම් එක්ක ආව මේ ගමන දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ කියන කාරණාවෙන්ම කතාබහ අවසන් කරන්න හිතුවා.

ජීවිතය අතිශය සුන්දරයි කියලා හිතෙන්නේ. හැලහැප්පීම් නැත්නම් මේ පන්නරය ලබා ගන්නේ කොහොමද? මේ හැමදේම අපිට ජීවිතේ හයිය කරගන්න හිත හයිය කරගන්න දෙන අත්දැකීම්. මම දකින්නේ ස්වභාව දහම අපිට දෙන හැමදේම සුන්දරයි. අතිශෝක්තියකින් කියනවා නෙවෙයි මම අද පරිපූර්ණ ජිවිතයක් ගත කරනවා. තව මොනවද ඉතින්

0 comment
0

Related Posts

Leave a Comment