Home කාලීන පුවත් දවස් 50කට නිවී ගිය සපුගස්කන්දේ තෙල් දැල්ල

දවස් 50කට නිවී ගිය සපුගස්කන්දේ තෙල් දැල්ල

by Hela news

ඉන්ධන ඇවිලෙන සුළුය. අපි ඒ බව දනිමු. එහෙත් වසරකට හතර පස් වතාවක් හෝ ඉන්ධන හේතුවෙන් රටක් ලෙස ඇවිලීම අපට පුරුද්දක් වී තිබේ. පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව හේතුවෙන් රටම ඇවිලී ගියේය. ඉන්ධන හිඟයක් පිළිබඳ කතා පැතිර ගියේය. පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය විය. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ මතිමතාන්තරද බොහෝ ඉදිරිපත් විය. සැබැවින්ම සිදුවූයේ කුමක්ද අපි විමසා බලමු.

1969 වසරේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කරන ලදී. ඛනිජ තෙල් නීතිගත සංස්ථා දත්තවලට අනුව බොරතෙල් පෙරණයේ ධාරිතාවය දිනකට මෙට්‍රික් ටොන් 5200 ක් වුවද, මෙම ඒකකය මඟින් දිනකට මෙට්‍රික් ටොන් 5800 ක් ලබා ගැනීමේ හැකියාව තිබේ. කෙසේ නමුත් මෙම පිරිපහදුව අඩසියවසකට වඩා වැඩි කාලයක් ජාතික ඉන්ධන අවශ්‍යතාවට දායකත්ව ලබාදී ඇත. මෙවර සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වැසීමට රජය ගත් තීන්දුව මෙතරම් කතාබහට ලක්වීමට හේතුවද එයම විය.

පසුගිය සඳුදා (15) සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් තාවකාලිකව වසා තබන බව පළමුවරට නිල වශයෙන් ප්‍රකාශය කළේ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාය. ඒ වනවිටත් ආරංචි පැතිර යමින් තිබුණි. කෙසේ වෙතත් සපුගකන්ද වසා දැමීම පිළිබඳ ඉකුත් සැප්තැම්බර් මාසයේදී තමා පැවසූ බව ගම්මන්පිල අමාත්‍යවරයා කීය.

“සැප්තැම්බර් 29 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා කිව්වා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ සීමිත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනට පමණක් විදේශ විනිමය යොමුකරමින් නිසි ලෙස එය කළමනාකරණය කර ගතයුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න වුණේ.

මේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා මෙහි 37%ක් නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. තවත් 19%ක් නිෂ්පාදනය වෙන්නේ ගුවන් යානා ඉන්ධන හා භූමිතෙල්. පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන්. ඒ නිසා දැවිතෙල් අවශ්‍යතාවක් නැති බව විදුලි බල අමාත්‍යාංශය අපිට දැනුම් දී තිබෙනවා.

ඒ වගේම ගුවන් යානා පැත්තෙන් ගත්තොත් කෙටි දුර ගමන් යන ගුවන් යානාවලට ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට තමයි කොළඹින් තෙල් සැපයීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් සියයට පනස් හයක් නිෂ්පාදනය කරන බොර තෙල් ආනයනය නතර කර ඒ වෙනුවෙන් වැයවෙන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවලට යොමුකර ගැනීමට පුළුවන් කම ලැබෙනවා.”

ආණ්ඩුවේ පැහැදිලි කිරීම එසේ වුවද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සේම, සමාජ මාධ්‍ය මෙය පුවත වාර්තා කර තිබුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිවී යයි යනුවෙනි. කෙසේ නමුත් බොරතෙල් ආනයනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2013 වසරේදීත්, බෝයාව සම්බන්ධ ගැටලුවක හේතුවෙන් 2014 වසරේදීත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණු බවට වාර්තා හමුවේ. තත්ත්වය එසේ වුවද මෙවර වසා දැමීම සම්බන්ධ අමාත්‍යවරයා ගෙන හැරපාන හේතුව සුළුකොට තැකිය නොහැක.

ඉන්ධන හිඟයක් සම්බන්ධ රට තුළ ආන්දෝලනයක් ඇති වීමට සපුගස්කන්ද වසා දැමීම සමඟ වෘත්තීය සමීති නායකයන් පළ කළ අදහස්ද හේතුවිය. මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 3300 කට අධික ණයක් ඇති නිසා බොරතෙල් ගෙන ඒමට එම බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි කීවේ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතාය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවූයේ ආණ්ඩුව ඉන්ධන තොග ගබඩා කර නොගෙන එදිනෙදා පරිභෝජනයට සරිලන ලෙස පමණක් ඉන්ධන ගෙන ඒමට කටයුතු කළ නිසා බවද ඔහු කීවේය.

බොරතෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් පිරිපහදුව වසා දැමීමට සිදුවූ බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය. ටෙන්ඩර් පිරිනැමීමේ ක්‍රමවේදයේද අඩුපාඩු ඇතැයි ඔහු පවසයි.

”පෙට්‍රල්, ඩීසල් ආවා. හැබැයි බොරතෙල් ගෙන්වන්න මේ සමාගමට බැරිවුණා. ජුනි මාසෙන් පස්සේ මේ සමාගමට බොරතෙල් දෙන්න බැරිවුණා. ඒක ඒ සමාගම අත්හැරිය නිසා ඇමතිවරයාට සිදුවුණා ක්ෂණික මිලදී ගැනීම්වලට යන්න. නමුත් අපේ හිටපු හොඳ සැපයුම්කරුවෝ මේවට බිඩ් කළේ නැහැ. ලංසු 11ක් කළා. බොරතෙල් වැඩක් නැත්නම් පිරිපහදු නම් ලාභ ඖෂධයි, කිරිපිටියි, සීනි ඇතුළු ඒවා ගේන්න ඉතුරු කරන්න ඕන නම් ඇමතිතුමනි ඇයි දිගින් දිගටම බොරතෙල් මිල ගණන් කැඳෙව්වේ. ඒ වුණාට ආවේ නැහැ. ඔක්තෝබර් 05 වැනිදායින් පස්සේ බොරතෙල් ගෙන්වල දුන්නේ නැහැ ලෝකයේ හිඟයක් නැතුව තියෙද්දී. ඒ නිසයි 50%ක් ධාරිතාවයට අඩුවෙන් පිරිපහදුව දිව්වේ.”

දේශපාලන පක්ෂ විසින්ද මේ සම්බන්ධ විවිධ ප්‍රකාශය කෙරිණි. එකින් එකට වෙනස් තර්ක ඉදිරිපත් වුවද ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඊට පිළියමක් ලෙස සපුගස්කන්ද පිරිපහදුව වසා දැමූ බව පැහැදිලි වෙයි. එය කොතරම් සාධනීය පියවරක්ද එයින් හටගන්නා අර්බුද කළමනාකරණය කරගන්නේ කෙලෙසද යන්න තවදුරටත් පැහැදිලි නොමැත. මේ අතර සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟ එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබාදුන් එල්පී ගෑස් ලබාදීමද නතර කිරීමට සිදුවී ඇති බවට වාර්තා පළ වේ. එම වාර්තා අනුව සපුගස්කන්ද පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකර තිබේ. පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත. මේ හා සම්බන්ධ ආදළ පාර්ශ්ව විමසීමට අප උත්සාහ කළ නමුත් එය සාර්ථකව නොවුණි.

මේ අතර මෙම වෘත්තීය සමීති නායකයන්ගේ  විවේනවලට පිළිතුරු බැදීමට ගම්මන්පිල අමාත්‍යවරයා කටයුතු කළේය. එය ගෙවුණු සතියේ තවත් මත ගැටුමක ආරම්භ සනිටුහන් කළේය.

“සමහරු මාධ්‍ය හමු පවත්වා මෙය රටට බලපාන නැවුම් ප්‍රවෘත්තියක් බවට පත් කරන්න උත්සාහ කළත් බොරතෙල් හිඟයක් ඇති වී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි බවටත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවටත් සැප්තැම්බර් 29 තරම් ඈත දිනක මාධ්‍ය හමුවක් පවත්වා අපි රටට කිව්වා. ඒ අනුව බොරතෙල් මිලදී ගැනීම නැවැත්වීමෙන් පිරිපහදුව වසන බවට අපි රටට කිව්වේ නැත්තේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් නිසා. පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ්‍රාමික සේවකයෙක් තෙල් හිඟයක් ඇති වන බවටත් පැය 12ක් විදුලිය කපා හැරීමට සිදුවන බවටත් මාධ්‍ය හමුවක පවසා තිබුණා. මේ පුද්ගලයාම තමයි වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිත් විවිධ බොරැ කියන්නේ. පසුගිය ජූලි මාසයේ සිට තුන් වතාවක් රටේ තෙල් හිඟයක් ඇතිවන බවට බොරු ප්‍රකාශ කළා.”

මත ගැටුම් කෙසේ දික් ඇදුනද ඉදිරියේදී ඉන්ධන සම්බන්ධයෙන් රජයට හිසරදයක් වනු ඇති බවට තොරතුරු දැනගන්නට ලැබේ. දිගින් දිගටම පාඩු ලබන තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කර වී ඇති බව කියැවේ. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතාම පහළ මට්ටමක පැවතීමද ඊට හේතුවකි. විදේශ විනිමය හිඟය යම් මට්ටමකට සමනය කරගත් වහාම බොරතෙල් ආනයනය යළි අරඹන බව කීවද එය පහසු කටයුත්තක් නොවේ.

0 comment
0

Related Posts

Leave a Comment