Home උණුසුම් පුවත් දත්ත මකා දැමීම ඖෂධ ජාවාරමුන්ගේ වැඩක් විය හැකියි

දත්ත මකා දැමීම ඖෂධ ජාවාරමුන්ගේ වැඩක් විය හැකියි

by Hela news

නීතිපති උසාවියට කියයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත මකාදැමීමේ සිද්ධිය ඖෂධ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාපිළිවෙතේ කොටසක් විය හැකි බව නීතිපතිවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (13) ප්‍රකාශ කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකාදැමීමේ සිද්ධියට අදාළ පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම ‘එපික් ලංකා’ නමැති පෞද්ගලික සමාගම විසින් වසර පහක කාලයක් සඳහා භාරගෙන තිබූ බවය. එහෙත් අදාළ ආයතනය සිය වගකීම නිසිපරිදි ඉටු කිරීම පැහැර හැර ඇතැයි චෝදනා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අදාළ ආයතනයේ නොසැලකිලිමත්භාවය නිසා මෙම දත්ත මැකී ගොස් ඇති බවද සඳහන් කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව ආරක්ෂා කිරීම සඳහා මෙම ආයතනය නිසි වැඩපිළිවෙළක් ගෙන නොතිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තොරතුරුවල BACKUP එකක් පවත්වාගෙන යාමට පවා එම ආයතනය කටයුතු කර නොමැති බවද සඳහන් කළේය. ඇතැම් ඖෂධ සමාගම් එකම ඖෂධය විවිධ නම්වලින් ආනයනය කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඖෂධවල සංයුතිය පිළිබඳ දත්ත ගබඩා කොට තිබෙන්නේ දැනට මැකී ගොස් තිබෙන පරිගණක දත්ත ගබඩාවේ බව සඳහන් කළේය.

මෙම දත්ත ගබඩාව මේ වනවිට මැකී යාම නිසා ඖෂධ සමාගම්වලට ඖෂධවල මිල ගනන් තමන්ට අවශ්‍ය පරිදි නියම කිරීමට හැකියාවක් මතුවී තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම දත්ත ගබඩාව විත්තිකරුවන්ගේ අධීක්ෂණය යටතේ යාවත්කාලීන කරනු ලැබුවහොත් එහි ඇති වැදගත් තොරතුරු මැකී යාමේ අවදානමක් පවතින හෙයින් ඒ පිළිබඳ අධ්‍යනය කොට කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ප්‍රකාශ කළේ අදාළ පරිගණක දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නොමැති බවය.

0 comment
0

Related Posts

Leave a Comment