Home ක්‍රීඩා පුවත් තෙවැනි දිනයට වැස්සෙන් බාධා

තෙවැනි දිනයට වැස්සෙන් බාධා

by Hela news

කොදෙව්වෝ කඩුල්ලක් අතැතිව ලකුණු 162ක් පසුපසින්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තෙවැනි දිනය ඕවර 38කට සීමා විය.

දිගින් දිගටම වර්ෂාවෙන් බාධා වීම නිසා ඊයේ ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස් කර තිබූ අතර, කඩුල්ලක් අතැතිව සිටින ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 162ක් පසුපසින් සිටිති.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජොෂුවා ද සිල්වා ලකුණු 11ක් රැස් කර තිබු අතර, අවසන් පිතිකරු වූ ශැනන් ගේබ්‍රියෙල් පිටියට පිවිසි සිටියේ නැත. 

මුල් පෙළ කඩුලු 6ක් ලකුණු 100ක් බිඳ වැටුණ ද පසු පෙළ පිතිකරුවන්ගේ සටන්කාමී ක්‍රීඩා විලාශය හේතුවෙන් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමෙන් ගැලවීමට කොදෙව් පිලට හැකි විය.

පෙරේදා 7 වැනි කඩුල්ලට ලකුණු 13ක් එක් කළ ජේසන් හෝල්ඩර් සහ කයිල් මේයර්ස් ඊයේ එම සබඳතාව තවත් ඉදිරියට ගෙන ගියේ ලකුණු 50ක් එක් කරමිනි.

නායක දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන් මේයර්ස්ගේ ඉනිම ලකුණු 45කට සීමා කරමින් එම සබඳතාව බිඳ දැමීමට ධනංජය ද සිල්වාට හැකි වූ අතර, තවත් ලකුණු 12ක් තුළ හෝල්ඩර් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. හෝල්ඩර් ලකුණු 36කට දැවී ගියේ මුළු ලකුණු 175දීය.

අනතුරුව ජොෂුවා ද සිල්වා සහ රකීම් කොන්වෝල් එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිමේ පරතරය අඩු කර ගැනීමේ උත්සාහක නිරත වූහ. ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගිය අතර, මුළු ලකුණු 224දී එම සබඳතාව නිමා කිරීමට සුරංග ලක්මාල් සමත් වූයේ කොන්වෝල් දවා ගැනීමෙනි. දුෂ්මන්ත චමීර දක්ෂ ලෙස උඩ පන්දුවක් රැක ගන්නා විට කොන්වෝල් ලකුණු 39ක් රැස් කර තිබුණේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟිනි.

ඒ සමඟ සවස 1.05ට පමණ පිටියට වර්ෂාව පතිත වීමෙන් තරගය මදකට නතර කිරීමට සිදු වූ අතර, සවස තේ විවේකය වේලාසනින් ගැනීමට ද කටයුතු කෙරිණි. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පස්වරු 4.25ට පමණ තරගයේ තෙවැනි දිනය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.

මේ තරගයේ සිව්වැනි දිනය වන අද තරගය පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment