Home දේශීය පුවත් තුන් වැනි බැඳුම්කර වංචාව නඩු විභාගය දෙසැ. 06 දා ඇරැ‍ඹේ

තුන් වැනි බැඳුම්කර වංචාව නඩු විභාගය දෙසැ. 06 දා ඇරැ‍ඹේ

by Hela news

යහපාලන සමයේ කළ තෙවැනි බැදුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන පහළොවක පාඩුවක් කළේයැයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු

විත්තිකරුන් දස දෙනකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව දෙසැම්බර් 06 සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (25) තීරණය කළේය.

ඒ අනුව දෙසැම්බර්06 දින සිට 10 දක්වාත් 24 දින සිට 28 දක්වාත් උදෑසන 10.30 සිට විභාග කිරීමට දින නියම කළේය.

විත්තිකාර රවි කරුණානායක මහතා ඇතුළු පිරිස අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා, මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහත්වරුන් ඉදිරියේ මෙම තීරණය ලබාදුන්නේය.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පස් දෙනකුට දෙසැම්බර් 06 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතිසිද නිකුත් කළේය.

මහ බැංකුවේ සේවය කළ දසවන විත්තිකාර ඉන්දික සමන් කුමාරට නඩුවට අදාළ ලේඛන කීපයක් මහ බැංකුවෙන් ලබාගත යුතු බවට විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු සළකා බැලූ විනිසුරු මඬුල්ල එම ලේඛන ලබා දීමට හැකියාවක් ඇත්නම් සළකා බලන ලෙස මහ බැංකුවට නියෝගයක් නිකුත් නොකරමින් දන්වා සිටියේය. 2015 මාර්තු 31 දින කළ බැදුම්කර වෙන්දේසියෙන් රජයට පාඩුවක් සිදු කිරීම තුළින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහණය කිරීම ඇතුළු අධි චෝදනා යටතේ ‍නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර නඩුවේ විත්තිකරුවන් ලෙස පර්පචුවල් ට්‍රේසරිස් සමාගම, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ඇතුළු දස දෙනකු නම්කර ඇත. දැනට රටින් පළාගොස් ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් අධ්‍යක්ෂ ගාර්ධි පුංචිහේවා විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග කෙරේ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිනි ගිරිහාගම මහත්මිය ඇතුළු රජයේ නීතිඥවරු පෙනී සිටියහ. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු විනිසුරු මඬුල්ල නඩු විභාගය දෙසැම්බර් 06 දින යළි කැඳවන ලෙසට නියෝග කරමින් සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කර එදිනට පෙනී සිටින ලෙසට දන්වමින් එතෙක් කල් තැබීය.

0 comment
0

Related Posts

Leave a Comment