Home කාලීන පුවත් තුන් දොස් කිපීමෙන් හැදෙන ඉරුවාරදයට දේශීය ප්‍රතිකාර

තුන් දොස් කිපීමෙන් හැදෙන ඉරුවාරදයට දේශීය ප්‍රතිකාර

by Hela news

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ හිසරදය හැඳින්වෙන්නේ ‘ශීර්ෂ චූල’ යනුවෙනි. ශීර්ෂ චූල එසේත් නොමැති නම් ශිරෝ රෝග 11ක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ඉරුවාරදය’ (මිග්‍රේන්) ලෙස හැඳින්වෙන ‘සූර්යාවර්ත’ යනු ඉන් එකකි. මෙම රෝගය ‘සූර්යාවර්ත’ ලෙස හැඳින්වෙන්නේ හිරුගේ නැඟීමත් සමඟ ම හිසරදය ඇරැඹී, හිරුගේ බැස යෑමත් සමඟ අඩු වී යෑම හේතුවෙනි.

ඉරුවාදරය ඇති වීමට බොහෝ හේතු ඇත. තද අව්වට නිරාවරණය වීම ඒ අතර ප්‍රධාන ය. අව්වේ සිටින විට හිස් කබලේ සියුම් කොටස් උණුසුම් වී රුධිර නාළ ප්‍රසාරණය වේ. හිසේ තිබෙන රුධිර නාළ ප්‍රසාරණය වූ විට ශිරාවල ඇති යම් යම් අපවිත්‍ර කොටස් හිස තුළට කාන්දු විය හැකිය. එවිට එම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඉරුවාරදය ඇති වීමට ඉඩ තිබේ.

මීට අමතරව මේ සඳහා බලපාන්නාවූ තවත් හේතු බොහෝ ඇත. අධික කුසගින්නේ සිටීම ද එක් හේතුවකි. විශේෂයෙන්ම උදේ ආහාරය නිසි ලෙස නොගන්නා විට ඉරුවාරදය ඇති වීමට ඉඩ තිබේ. උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම (ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, සැමන් වැනි), අව්ව දෙස බලා සිටීම, අධික ආලෝකය දෙස බලා සිටීම, විශාල ශබ්දවලට එකවරම නිරාවරණය වීම, පරිගණක තිරය දෙස බොහෝ වේලාවක් බලා සිටීම, අධික ලෙස නිදිවැරීම, අධික ලෙස මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, දුම්බීම, ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම, අසීමිත ලෙස දුගඳ හමන පරිසරවල ජීවත් වීම, අධික ලෙස ව්‍යායාම කිරීම, ඉතා අධිකව වෙහෙස වී වැඩ කිරීම, නිතර අඩු ආලෝකයේ පොත් කියවීම, මානසික ආතතිය වැනි හේතු නිසා මෙන් ම පරම්පරාවෙන් ද මෙම රෝගය ඇති වීමට පුළුවන.

ඉරුවාරදය සමඟ ඇතැමුන්ට ඇස් දැවිල්ල, හිසේ පැත්තක වේදනාව, උදෑසන කාලයේ හිසරදය පටන් ගෙන හවස් කාලයේ අඩු වීම, මහන්සිය, තෙහෙට්ටුව, මානසික ආතතිය, නිතර ඈනුම් යෑම, අධික ලුණු රසට සහ පැණි රසට කැමැත්තක් දැක්වීම වැනි රෝග ලක්ෂණ ඇති වේ. එසේම මෙහිදී තද හිසරදය ඇති වීමට මත්තෙන් නිතර කැරකැවිල්ල, ක්ලාන්තය, වමනය, විදුලි කොටනවා සේ පෙනීම වැනි පූර්ව ලක්ෂණ ඇති වීමට ද ඉඩ තිබේ.

මෙම රෝගය ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝගයක් ලෙස හඳුනා ගැනේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව එය ත්‍රිදෝෂ (වාත, පිත, කප) එක්ව හැදෙන රෝගයකි. එබැවින් එම දෝෂවලට ප්‍රතිකාර කළ විට සුවය ලැබිය හැකි ය. ඉරුවාරදය නොසලකා හැරිය හැකි රෝගයක් නොවේ. අනිවාර්යයෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ය. ආයුර්වේදයේ එන පංච කර්මවලින් මෙම රෝගයේ දී ඉතාමත් සුදුසු වන්නේ නස්‍ය කර්මයයි (හිස කොටසේ තිබෙන ඕනෑම රෝගයක් සඳහා නශ්‍ය කර්මය යොදා ගැනේ). ඒ සමඟම ශරීර අභ්‍යන්තරයට දෙන ඔසු ද ලබා දේ. නස්‍ය කර්මයෙන් පසු ශීර්ෂ අභ්‍යන්ග (හිස සම්බාහන) ශිරෝ වස්ති, ශිරෝධාරා වැනි ප්‍රතිකාරවලින් ද ඉරුවාරදය මඟ හරවා ගත හැකි ය. ප්‍රතිකාරවලට යොමු වූ විට ප්‍රවේශම් විය යුතු ආකාරය පිළිබඳව ද රෝගීන්ට උපදෙස් ලැබේ. තද අව් රශ්මියෙන් ආරක්ෂා වීමට කුඩයක් භාවිත කිරීම, අව් කණ්ණාඩි පාවිච්චි කිරීම (එමඟින් ඇස ආරක්ෂා වන අතර ඉරුවාරදයෙන් පෙළෙන අයට ද සහනයක් සැලසේ) වැස්සේ නොතෙමී සිටීම, රාත්‍රී කාලයේ නිදි නොවරා ප්‍රමාණවත් සුව නින්දක් ලැබීම, උදේ ආහාරය සැලකිලිමත්ව ගැනීම සහ කුසගින්නේ නොසිටීම, පරිගණක තිරය ඉදිරිපිට වැඩිපුර කාලයක් ගත කරන්නේ නම් ආරක්ෂිත ආවරණයක් භාවිත කිරීම සහ වරින් වර කෙටි වේලාවක් හෝ දෑස්, දුර ඈත ඇති වස්තූන් වෙත යොමු කිරීම සඳහා ලැබෙන උපදෙස් පිළිපැදීම මෙම රෝගයෙන් වැළකී සිටීමට වැදගත් වේ.

එසේ ම යම් යම් දේ අත්විඳින විට හෝ රස විඳින විට මෙම රෝගි තත්ත්වය වැඩි වන බවක් රෝගියා අත්දැකීමෙන් දන්නා අවස්ථාවල දී එවැනි හේතුවලින් ඈත් විය යුතු ය. උදාහරණයක් ලෙස ඇතැම් පුද්ගලයන්ට කොමඩු ආහාරයට ගත් විට ඉරුවාරදය වැඩි වේ. තවත් සමහරුන්ට ඕඩික්ලෝන් සුවඳ දැනෙන විට, විදුලිපංකාවක් කැරකෙනවා දකින විට ද ඉරුවාරදය වැඩි විය හැකි ය. ඇතැම් විට මෙම රෝගය සුව අතට හැරෙන්නේ සෙමිනි. කෙසේ වෙතත් නිසි වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාරවලට යොමු වීම, දෙන උපදෙස් පිළිපැදීම සහ ඖෂධ නොවරදවා භාවිතය තුළ මෙම රෝගය සුව කර ගත හැකි ය.

0 comment
0

Related Posts

Leave a Comment