Home උණුසුම් පුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධනය කළ යුතු වගන්ති කඩිනමින් සංශෝධනය කරනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධනය කළ යුතු වගන්ති කඩිනමින් සංශෝධනය කරනවා

by Hela news

වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමඟ එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳ කරුණු අධ්‍යනය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ ඊයේ (04) මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවත් එම නිසා රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉතා වැදගත් බවත් ජනාධිපතිතුමා එම නියොජිතයන්ට සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැඟෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳත් විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් ආකාරයත් එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙන්වා දෙනු ලැබීය.

සිවිල් සංවිධාන සමඟ එකිනෙකා අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය දෙවසර තුළ පැවැති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් එම නියොජිතයන්ට සඳහන් කළේය.

රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇති කිරීම කනගාටුදායක බවත් සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව සහ රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ දූත පිරිස ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන් අතර සංචාරයේ දී අධ්‍යනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.

මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු ප්‍රධාන වශයෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල් නිකොලොස්සයිමිස් (NikolaosZaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානින් රැසක් මෙම හමුවට සහභාගි වී සිටියහ.

0 comment
0

Related Posts

Leave a Comment