Home විදෙස් පුවත් තලෙබාන් නායකයින් අතර මතගැටුමක්

තලෙබාන් නායකයින් අතර මතගැටුමක්

by Hela news

ඇෆ්ගන් නව රජය පිහිටුවීම සම්බන්ධයෙන් තලෙබාන් නායකයන් අතර මතගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මුල්කරගෙන තලෙබාන් සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ඝානි බරාදර් කාබුල් නගරයෙන් පිටවගොස් ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තලෙබාන් සංවිධානයේ සම නිර්මාතෘ සහ වත්මන් භාරකාර රජයේ උප අගමැති ලෙස කටයුතු කරන මුල්ලා අබ්දුල් ඝානි බරාදර් සහ සරණාගතයන් පිළිබඳ ඇමති ඛලීල් – උර් රහ්මන් හකානි අතර ජනාධිපති මන්දිරයේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති බව තලෙබාන් තොරතුරු මූලාශ්‍රයක් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත.

මුල්ලා අබ්දුල් ඝානි බරාදර් නව රජයේ ව්‍යූහය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීම ගැටුමට මුල්වූ බව පැවසේ.

එමෙන්ම ඇෆ්ගන් විජයග්‍රහණයේ ගෞරවය කාට හිමිවිය යුතුද යන්න සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුව මේ අර්බුදය වඩාත් උග්‍ර අතට පත්කර තිබේ.

රහ්මන් හකානි, හකානි ත්‍රස්තවාදී ජාලයේ ප්‍රබල චරිතයකි.

මෙහිදී දෙදෙනාගේ හිතවාදීන් ද ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

නව රජය පිහිටුවීම සම්බන්ධයෙන් මේ අර්බුදය හටගෙන ඇති බවත් එම වාර්තාවල දැක්වෙයි.

මුල්ලා අබ්දුල් ඝානි බරාදර්, ඉකුත් දින කිහිපයේම ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බවද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් තලෙබාන්වරුන්ගේ අභ්‍යන්තර අර්බුදයක් සම්බන්ධයෙන් මේ වනවිට විවිධ වාර්තා පළවී තිබේ.

කෙසේවෙතත්  තලෙබාන් සංවිධානය එම පුවත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර ඝානි බරාදර් හඬ පටයක් නිකුත් කරමින් තමා සුවෙන් පසුවන බවට තහවුරු කර තිබේ.

තමා මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පැතිරීම හේතුවෙන් හඬපටය නිකුත් කළ බව ඔහු සඳහන් කර ඇත.

කටාර් රාජ්‍යය හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තලෙබාන් සාමාජිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අතර ද ජනාධිපති මන්දිරයේදී වාදයක් සිදුවී ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment