Home කාලීන පුවත් තරුණයා බලගැන්වීම අපේ අරමුණයි

තරුණයා බලගැන්වීම අපේ අරමුණයි

by Hela news

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, දමිත වික්‍රමසිංහ

තරුණයා යනු රටක පැවැත්මයි. තරුණයා ජවසම්පන්න කරලීම ඔස්සේ රටක් දියුණු කිරීමට ක්‍රමවේද සැකසිය හැකිය. අපේ රටේ තරුණ පරපුර ජවසම්පන්න කරලීම පිණිස ජාතික තරුණ සේවා සභාවේ අනාගත සැලසුම් පිළිබඳ එහි සභාපති දමිත වික්‍රමසිංහ මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.

– තුරුණු ශක්ති ආයෙත් පටන් ගන්නවා
– රටේ දියුුණුවට තරුණයාගේ දායකත්වය ඉතා වැදගත්
– ඇමැතිවරයා නව දැක්මක් සහ චින්තනයක් ඇති අයෙක්
– යොවුන් පුරය සුදු අලියෙක්

තරුණ සේවා සභාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කතා කළොත්?

ජාතික තරුණ සේවා සභාව නාමල් රාජපක්ෂ ඇමැතිවරයෙගේ තරුණ කටයුතු විෂය යටතට අයත්. එතුමා මෙය බාරගෙන ගතවෙලා තියෙන්නේ අවුරුද්දයි. මම සභාපතිවරයා විදියට වැඩ බාරගෙන මාස හයයි. ඇමැතිවරයා මට මෙම ආයතනය බාර ගන්න කිව්වේ, එතුමා මේ ආයතනය බලාපොරොත්තු වුණ මට්ටමේ නොතිබුණ නිසා වෙන්නැති. නාමල් රාජපක්ෂ ඇමැතිවරයගේ නායකත්වය යටතේ අපේ සුසංයෝගය ආරම්භ වෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේයි. එදා ඉඳන් අද දක්වා අපි ලබාගත්ත ප්‍රගතිය ඉහළ මට්ටමක තිබෙනවා. මේ කාලය තුළ අපිට ලංකාව තුළ ජාතික මට්ටමේ වැඩසටහන් තුනක් ආරම්භ කරන්න පුළුවන් වෙලා තිබෙනවා. හෝප් ටු ශ්‍රී ලංකා කියන ව්‍යසායකත්ව වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙනවා නව ව්‍යසායකයන් 50000ක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යසායකයන් කියන්නේ ස්වයං රැකියා කරන අය නෙවෙයි. සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යසායකයන්. උදාහරණයක් විදියට කිවුවොත් කිරි නිෂ්පාදනය සදහා ව්‍යසායකයන් 600ක්. අවමය රුපියල් ලක්ෂ දෙකක් මාසයකට උපයන්න පුළුවන් කිරි ගොවිපොළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තරුණ ව්‍යසායකයාට අවශ්‍ය තාක්ෂණය, පුහුණුව, ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළක් ලබා දෙනවා. ඒ කියන්නේ මිල්කෝ ආයතනයට ඒ නිෂ්පාදන ලබා දෙන්න අවශ්‍ය ගිවිසුම්වලට එළැඹිලා තිබෙනවා.

ඊළගට ග්‍රීන් හවුස් වැඩසටහනෙන් බස්නාහිර පළාතේ විතරක් ග්‍රීන් හවුස් 3000ක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ යටතේ යම් නිෂ්පාදනයක් කරනවා නම් ඊට අවශ්‍ය පහසුකම්, වෙළෙඳපොළ අප දෙනවා. ව්‍යසායකයාට තියෙන්නේ හරියට ව්‍යාපෘතිය කරගෙන යන්න විතරයි. අනෙක් සියලු පහසුකම් අපි දෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකු පවා මේ සඳහා සහාය දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා.

පසුගිය කාලයේ යම් පසුබෑමක් තිබුණ බව ඔබ සඳහන් කළා. ඒ පසුබෑමට හේතුව හඳුන­ාගෙන තිබෙනවා ද?

යෞවන සමාජයකට අවුරුදු 15 දී ඇතුළත් වෙලා අවුරුදු 29දි එළියට යන කොට ක්‍රීඩා තරගවලට, කලා උලෙළවලට, යොවුන් පුරය කියන වංචා වලටත් ගිහින් එළියට ගිය දවසක නැවත ඊළග දවසේ ඉඳන් ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතනව නම් එතන සිස්ටම් එකම ෆේල් නේ. එකෙන් වෙන්නේ අර එළියට යන පුද්ගලයා යෞවන සමාජ ක්ෂේත්‍රයට වෛර කරලයි එළියට යන්නේ. ඒ නිසා තමයි අපි අලුත් අලුත් වැඩසටහන් හඳුන්වා දෙන්නේ. වසරකදී තරුණ තරුණියන් 25000ක් විදේශ රැකියාවලට යොමු කරන්න සැලසුම් කරගෙන යනවා. අපි මෙය බාරගන්නා තුරු යෞවන සමාජ ක්ෂේත්‍රයට සියයට 10ක් ගන්න බැරි වෙලා තිබුණා. රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 55 ක් ඉන්න කොට හාර ලක්ෂයකටත් අඩු සංඛ්‍යාවක් තමයි යෞවන සමාජ සම්මේලනය තුළ ඉන්නේ. අපට මේ මාස ගණන ඇතුළත ලක්ෂ පහ හමාරක් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ජනවාරි මාසයේ විශාල ප්‍රවර්ධන වැඩසටහනක් පටන් ගන්නවා. ලක්ෂ 15ක් 20ක් මේ ක්ෂේත්‍රය ඇතුළට ගන්න බැරි නම් මේ ක්ෂේත්‍රය අවශ්‍ය දේ සිදු වෙන්නේ නැහැ. යෞවන සමාජයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දි මම අහපු පළවැනි ප්‍රශ්නය තමයි ඇයි ඔයගොල්ලන්ට ළමයි ගන්න බැරි කියළා. ඔවුන් දීපු උත්රය තමයි ‘ගෙවල් වලින් එවන්නේ නැහැ. අම්මලා තාත්තලා එවන්න කැමැති නැහැ’ කියලා.

මෙතෙන්ට ළමයි එන්න නම් අපි බ්‍රෑන්ඩ් එක හදන්න ඕන, කොහොමද බ්‍රෑන්ඩ් එක හදන්නේ . ඒක හදන්න නිකම් ප්‍රචාරණ වැඩසටහන් විතරක් කරල මදි. යෞවන සමාජයක ඉන්න ළමයෙක්ට ව්‍යවසායකයෙක් වෙලා කවද හරි මේ රටේ ඉන්න ධනවත්ම පුද්ගලයෙක් වෙන්න පුළුවන් මාර්ගය තිබෙනවා කියලා මවුපියන්ට අවබෝධ වුණොත්, එතකොට ළමයි එවනවා. තමන්ගේ ළමයෙක් විදේශ රැකියාවකට ගිහින් පවුලම ගොඩ දාන්න පුළුවන් කියලා දැනුණොත් එවන්නේ නැද්ද? කුඩා ව්‍යාපෘති 30000කට විතර අනුග්‍රහය දක්වන්න අපි සැලසුම් කරලා තිබෙනවා. පෞද්ගලික අංශයේ ඉඳන් මාව මෙතැන්ට ගෙන්නුවේ වෙනස්ව හිතන්නයි. වෙනස් දේ කරන්නයි. මම අනිවාර්යෙන්ම ඒ දේ කරනවා.

යොවුන් පුරය අසාර්ථකයි කියලා. ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව කළ නිසා ද?

යොවුන් පුරයේ මිලියන තුන් සිය ගානේ වියදම් කරලා හතරක් හෝ පහක් පවත්වලා තිබෙනවා. ඒකෙන් මොනවද ලබාගත්තේ. කවුරු හරි කෙනෙක්ව පෙන්නවලා කියන්න පුළුවන්ද මෙන්න මේ පුද්ගලයා යොවුන් පුරය නිසා මහා කලාකාරයෙක් වුණා කියලා. ව්‍යසායකයෙක් වුණා කියලා. එහෙම කියන්න පුළුවන් එක පුද්ගලයෙක් හදලා තිබෙනවාද? යොවුන් පුරයෙන් කියලා කරලා තිබෙන්නේ රට වටේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ තුන් හාර දාහක් ගෙනල්ලා බොරුවක් කරපු එක විතරයි. විනෝදාස්වාදය තියෙන්න ඕනෑ. හැබැයි ඒකත් එක්ක යම් කිසි දෙයක් ඒ ළමයට ලැබෙන්න ඕන. නැත්නම් ඒ ළමයි අවසානයේ දි අපිටත් වෛර කරලා, සමාජයටත් වෛර කරනවා .ඇත්තටම එතැන සිදුවෙලා තිබුණේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම පමණයි. ඒ ගැන කිසි කතා දෙකක් නැහැ. අපි දේශපාලන න්‍යයාය පත්‍රවල වැඩ කරන්නේ නැහැ. අපි රටට වැඩ කරන්නේ. අපි මේ වැඩ ටික කරද්දී තරුණ තරුණියෝ අපි එක්ක කොහොමත් ඉන්නවා.

තරුණ සේවා සභාව කියන්නේ රටට දැවැන්ත චරිත හඳුන්වා දුන්නා තැනක්. එහෙත් මෑත කාලයේ එවැන්නක් දකින්න ලැබුණේ නැහැ. එහෙම වෙලා තිබෙන්නේ ඇයි?

සමස්තයක් විදියට පරිහානියට පත් වුණ තැනකින් දැවැන්ත චරිත එන්නේ නැහැ. කලා කටයුතු පරිහානියට පත් වෙලා. බෙල්හුඩ් ආයතනයේ තිබුණ පැරණි ගොඩනැගිල්ල යකඩ මුදලාලී කෙනෙක්ට දීලා ගලවලා තිබුණා. ඒ වගේ දැවැන්ත තැනක පෞරාණික වටිනාකමක් තියෙන දේක වටිනාකමක් දන්නේ නැති පුද්ගලයන්ට පුළුවන්ද කලාව ඉහළට ගෙන එන්න. මේක විකුණන් කන පිට්ටනියක් විදියට හිතුවොත්, දියුණු කරන්න බැහැ නේ. මෙතෙන පසුගිය කාලයේ වෙලා තිබෙන්නේ අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ කරපු එක පමණයි. දැන් අපි මුල ඉඳන් එකෙන් එක පටන් ගන්නවා. මේ වන විට අලුත් සැලසුම් රැසක් සකස් කර තිබෙනවා.

යළි මෙය නඟාසිටුවන්න ඔබ සතුව තිබෙන සැලසුම් මොනව ද?

අපි තීරණය කළා තුරුණු ශක්ති පටන් ගන්න. ඉන් තමයි මේ රටේ අවසාන වරට තරුණ සේවා සභාව කියන වේදිකාවෙන් රට දන්න අය ආවේ. ගායකයෝ, වාදකයෝ, රචකයෝ විතරක් නෙවෙයි ක්ෂේත්‍ර රැසකින් දැවැන්තයෝ බිහි කරන්න පුළුවන්කම ලැබුණා. ලංකාවේ එකම රියැලිටි වැඩසටහන හැම දිස්ත්‍රික්කයටම යන. ලංකාවේ කිසිම රියැලිටි වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමින් යන්නේ නැහැ නේ. තුරුණු ශක්ති ජෙනරේෂන් නෙක්ස්ට් කියන නමින් නවීකරණය කරලා වැඩසටහන පවත්වනවා. එළැඹෙන නොවැම්බර් 26 වැනිදා යෞවන සම්මාන උළෙල නෙළුම් පොකුණෙදි පැවැත්වෙනවා. එහිදී අපි තුරුණු ශක්ති දියත් කිරීමක් කරනවා. දෙසැම්බර් මාසේ ඉඳන් දිස්ත්‍රික් මට්ටමින් යනවා. ඒ හැමදේම පුරෝගාමිව වෙන්න ඕන. ලෝකයේ කිසිම තැනක දෙවැනියා වෙච්ච කෙනෙක් ගැන කතා වෙන්නේ නැහැ. ඒ නිසා තරුණ සේවා සභාව සෑම දෙයකම පළමු වැනියා විය යුතුයි. ප්‍රමුඛයා විය යුතුයි. එයයි අපේ දැක්ම වගේම ඉලක්කය.

ආණ්ඩුවක් බලය ගත්තම තිබෙන වැඩසටහන් ඔවුන්ට ඕන විදියට හැඩ ගස්සවා ගන්නවා. ඒ තුළට දේශපාලනය රිංගවනවා. තුරුණු ශක්ති, යෞවන සමාජවලටත් එවැනි තත්ත්වයක් උදා වේවිද?

සින්දු කියන්න පුළුවන් ඕන කෙනෙක්ට තුරුණු ශක්තිවල දොර ඇරලා තිබෙන්නේ. ඒකට පාට පක්ෂ අදාළ වෙන්නේ නැහැ. මොකද සින්දු කියන්න කලින් අහනවද ඔයා මොන පක්ෂයෙද කියළා. අපට ඕන දක්ෂයෙක් උඩට ගෙන එන්නයි. යෞවන සමාජ වල වුණත් එහෙමයි. මොකද ඒ දේවල් ගොඩනගද්දි දේශපාලනය මොකක්ද, පාට මොකක්ද කියලා බලා බලා වැඩ කරන්න බැහැ. එහෙම වුණොත් ඒ දේවල් සාර්ථක කරගන්න බැහැ.

තරුණ සේවා සභාවේ සභාපතිවරයා නාමල් රාජපක්ෂ ඇමැතිවරයා උඩට ගෙන්න තමයි මේ වැඩසටහන් කරන්නේ කියලා කවුරු හරි චෝදනා කළොත්?

කොහොමද නාමල් රාජපක්ෂ මහත්මයා උඩට ගේන්නේ මේ වැඩසටහන්වලින්. අන්න නාමල් රාජපක්ෂ ඇමැතිවරයා රට වටේ ගිහින් සිංදු කියනව නම් කියන්න පුළුවන් එතුමා උඩට ගෙන්න කරනවා කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම කවුරු හරි චෝදනා කරනව නම් ඒක පුද්ගලයගේ තිබෙන මානසික ප්‍රශ්නයක් තමයි.

ලංකාවේ පළමුවැනි වතාවට තමයි තරුණ අදහස් තේරුම් ගන්න පුළුවන් තරුණ ඇමැතිවරයෙක් තරුණ විෂය බාරව කටයුතු කරන්නේ. ක්‍රීඩකයෙක් වෙච්චි ක්‍රීඩා ඇමැතිවරයෙක් ක්‍රීඩාව බාරගෙන තිබෙන්නේ. එතුමන් අනාගතවාදිව මේ රට කොතෙන්ට ද යා යුත්තේ කියලා සුබවාදිව දකිනවා. දක්ෂ කණ්ඩායමක් ඒ සඳහා එතුමන් වටා ඉන්නවා. අනෙක එතුමන් ඕනෑම දේකට ඇහුම්කම් දෙන ඇමැතිවරයෙක්. මම හිතන්නේ එය රාජපක්ෂ පවුලට උපතින් ආව දෙයක්.

රටම ලොක් ඩවුන් කරලා තියෙද්දි තරුණ සේවා සභාවත් ලොක් ඩවුන් වෙලා ද තිබුණේ?

අන්තිම ලොක් ඩවුන් එක කාලේ සංගීතමය වැඩසටහනක් අරගෙන ගියා නාගරික ප්‍රදේශ වලට. ඊට විශාල ඉල්ලුමක් අති වුණා. කොරෝනා කාලේ මම එක දවසක් ගෙදර හිටියේ නැහැ.හැමදාම වැඩ කළා. සිස්ටම් එක වෙනස් කරලා වැඩ කරන්න වෙනවා මේ රට වෙනස් කරන්න නම්. වෘත්තීය පුහුණු අධිකාරිය වෙනස්ම තැනකට ගෙන එන්න මට පුළුවන් වුණා. වැඩිම ශිෂ්‍ය ප්‍රජාව බඳවා ගත්තේ මගේ කාලයේ. මම යද්දි ඔන් ලයින් අයදුම්පත් එක වාරයකයට 500 යි 600 යි අරන් තිබුණේ. අපි එය 60000 කට එහා ගෙන ආවා. ඒ වැඩ කරන්න නම් අලුත් විදියට හිතන්න ඕන. වාසනාවට අලුත් විදියට හිතන, අලුත් චින්තනයක් තිබෙන ඇමැතිවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණ එක විශාල ශක්තියක් වුණා. ඒ වගේම ලෝකයේ ඉන්න තරුණම තරුණ කටයුතු ඇමැතිවරයා තමයි අපේ ඇමැතිවරයා. ඒ දර්ශනයත් එක්ක ගමනක් යන්න පහසු වෙලා තිබෙනවා. 

යොවුන් පාර්ලිමේන්තුවත් මේ වන විට අතරමග නතර වෙලා නේද?

එහෙම නතර වෙලා නැහැ. යෞවුන් පාර්ලිමේන්තුවේ අලුත්ම සැසිය දෙසැම්බර් මාසයේ දී පවත්වනවා. පාර්ලිමේන්තුවේ කාලය දික් කරනවාත් එක්කම කැබිනට් මණ්ඩලය සංශෝධනයක් කරනවා. නැවතත් සෙනට් සභාව හඳුන්වා දීලා විවිධ ක්ෂේත්‍රවල ඉන්න තරුණ නායකයන් ගන්න බලාපොරොත්තු වෙනවා. සෙනට් සභාව අහෝසි කරපු එක මෝඩ වැඩක්. අපිට ජැයත්මා වික්‍රමනායක වැනි යූත් එම්බසිඩර් කෙනෙක් ලංකාවෙන් බිහි කන්න පුළුවන් වුණේ තරුණ පාර්ලිමේන්තුවේ සෙනට් සභාව හරහා නායකත්වයට යොමු කරන්න පුළුවන් වුණ නිසයි.

තරුණ සේවා සභාව ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙන වැඩසටහන් මොනව ද?

මුලින්ම බලාපොරොත්තු වෙන්නේ අප ආරම්භ කළ වැඩ සටහන් සාර්ථක කරගන්න එකයි. අපිට අලුත් වැඩසටහන් පහක් තියෙනවා නේ. ලබන අවුරුද්ද ඇතුළත ඒවා සාර්ථක කරගන්න ඕන. ඒ වගේම ලබන අවුරුද්දේ පළමු කාර්තුවේ දී යෞවන සමාජවල සමාජික ප්‍රවර්ධනය සහ පිබිදීමක් ඇති කරන්න. අපි වැඩසටහන් හඳුන්වා දුන්නම ළමයි එනවා. දැන් එහෙම එකක් නැති නිසා තමයි ළමයි එන්නේ නැත්තේ. යෞවන සාමජයේ හැඳුනුම්පත ඩිජිටල්කරණය කරලා තිබෙන්නේ. ඒකත් 26 වැනිදා හඳුන්වා දෙනවා. ඒ හැඳුනුම්පත ඇතළේ ඒ තරුණයට තරුණියට පුළුවන් සියලුම දත්ත දාල තියන්න. එයින් ඔවුන් සහ අප අතර සම්බන්ධතාවය වැඩි කරගන්න අවස්ථාව උදා වෙනවා.

අවසාන වශයෙන් තරුණ සේවා සභාවේ සභාපතිවරයා විදියට තරුණ තරුණියන්ට දෙන්න තිබෙන පණිවිඩය කුමක් ද?

කොයි තරම් අපි වැඩසටහන් හැදුවත් තරුණ තරුණියන්ගේ උනන්දුව සහභාගිත්වය නැත්නම් මේ වැඩේ කරන්න බැහැ. සියලු පහසුකම් දීලා එකත් ඔබ ගන්නේ නැත්නම් ඒක ඔබට කරන අසාධාරණයක් මිසක් අපිට කරන අසාධාරණයක් නෙවෙයි. තරුණයන්ගෙන් කාරුණිකව ඉල්ලනවා ව්‍යසායකයන් 50000 වැඩ සටහනට එන්න. ඒ හරහා ඔබ තවත් පස් දෙනෙක්ට රැකියා දුන්නම ඉබේම රැකියා ලක්ෂ දෙක හමාරක් හදන්න පුළුවන්. විදේශ රැකියා වැඩසටහනට එන්න. ඒ මගින් රටට සහ පවුල ශක්තිමත් කරන්න පුළුවන්, තුරුණු ශක්ති. ටෙලි නාට්‍ය වේදිකා නාටත් කරන්න අදහස් කරන් ඉන්නවා. මේ සියලු දේ සමඟ එකතු වෙන්න කියලා මේ රටේ සමස්ත තරුණ තරුණියන්ගෙන්ම ඉල්ලා සිටිනවා.

0 comment
0

Related Posts

Leave a Comment