Home ක්‍රීඩා පුවත් ටෂ්කෙන්ට් ගොස් විස්කම් පාන්න බර උසුලන්නෝ සූදානම්

ටෂ්කෙන්ට් ගොස් විස්කම් පාන්න බර උසුලන්නෝ සූදානම්

by Hela news

මෙවර ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්ථානයේ දී ය. සිව් වසරකට වතාවක් බැගින් ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය ලෝක බර ඉසිලීමේ ක්‍රිඩා ක්ෂේත්‍රයෙහි ප්‍රධානතම හා උසස්තම තරගාවලියයි.

මෙම තරගාවලියට සමගාමීව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාව ද පැවැත්වීමට නියමිත ය. ඒ ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබෙන “කොවීඩ් -19” රෝගයෙන් ක්‍රීඩකයන් හා නිලධාරීන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි.

ඔක්තෝබර් මස සිංගප්පූරුවේ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාව පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එහි දී පැවැත් වීමට නොහැකි බව දැන්වීමෙන් අනතුරුව උස්බෙකිස්ථානය දෙසට යොමුවන්-නට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනයට සිදුවිය.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය හා ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය “ටෂ්කෙන්ට්” නුවර දී එළඹෙන දෙසැම්බර් මස 07 සිට 17 දක්වා පැවැත්වේ.

ලෝක ශුරතා බර ඉසිලීමේ ශූරතාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාව එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන් වෙන්ව ජයග්‍රාහකයන් හට පදක්කම් පිරිනැමීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබීම මෙවර දක්නට ලැබෙන විශේෂත්වයකි.

ගෝලීය වසංගතයක් බවට පරි-වර්තනය වී තිබෙන “කොවිඩ් -19” තත්ත්වය හමුවේ 2020 ට අදාළ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාව සහ ලෝක ශූරතාව පැවැත්වීමට සංවිධායකයන් හට නොහැකි වීමෙන් මෙම තීරණයට එළඹීමට සිදුවී තිබේ .

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේ-ලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ශරීර බර පන්ති අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියක් ක්‍රියාත්මක වන මුල් අවස්ථාව ද මෙයය.

2019 වසරේ සැප්තැම්බර් මස 18 සිට 27 දින දක්වා තායිලන්තයේ පතායා නගරයේ දී ලෝක ශූරතා තරගාවලිය මෙන්ම 2021 ජූලි 23 අගෝස්තු 08 කාල සීමාවේ ජපානයේ ටෝකියෝ අගනුවර දී ක්‍රියාත්මක කළ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල නව බර පන්ති අනුව පවත්වන්නට යෙදුණු අතර එහිදී නව තරග වාර්තා බිහි කරමින් කැපී පෙනෙන්නට ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් සමත් වූහ.

එම තරග මාලාවන් ද්විත්වයටම සහභාගි වීමේ වරම් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට අහිමි වුවත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තර-ගාවලිය සඳහා ක්‍රීඩකයන් 10 දෙනෙකු ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු ඉහළ නංවා ඇත්තේ ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියේ අත්දැකීම් සපුරා ගැනීමේ අපේක්ෂාව ද ඇතිවය.

මෙරට බර ඉසිලීමේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කළ අවස්ථාව සටහන් වන්නේ ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ය. ඒ 2006 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පවත්වන ලද 18 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ” චින්තන ගීතාල් විදානගේ ” විසින් දිනා ගන්නා ලද “රන්” පදක්කමත් සමඟිනි.

මෙරට අනෙකුත් ක්‍රීඩාවන් හට පදක්කම් අහිමිව යද්දි ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තබන්නට සමත් වූ “පුලතිසිපුර වීරයා” එහිදී කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර පන්තිය යටතේ සටහන් කර ගත් රන් පදක්කමේ අගය අදටත් දීප්තිමත් ය.

ඊට පසු ක්‍රීඩා උළෙලේ දී ද පදක්කම් අතර රැඳී සිටීමෙන් “රිදී” පදක්කමක් මව් බිමට දිනා දීමට සමත් වීම ඔහු සතු නිසර්ග කුසලතාවයට හොඳම උදාහරණකි.

අදටත් නොදැවී ජාත්‍යන්තර කෙළි බිමේ රැඳී සිටින චින්තන ගීතාල් විදානගේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී හා ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වර්ණවත් කිරීමට බලාපොරොත්තුවෙන් පුහුණුවීම් කරනු ලබයි. ඔහු වයසට අභියෝග කරන තරගකරුවෙකි.

“පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන ඔහු ඇතුළුව ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩකයන් 12 දෙනෙකු මෙවර “පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාව” සඳහා සහභාගී කරවන ශ්‍රී ලංකා පිල තෝරා ගැනීම උදෙසා පුහුණුවට කැඳවා තිබේ.

ඔවුන් මේ වන විට මහනුවර මුල් කර ගනිමින් කොළඹ, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල සිට පුහුණු අභ්‍යාසවල නිරත වෙති.

ඒ අතර ඇන්ටන් සුදේශ් පීරිස් (2010 ලෝකඩ පදක්කම සහ 2014 රිදී පදක්කම), ඉන්දික චතුරංග දිසානායක (2016 රිදී පදක්කම) සහ චතුරංග ලක්මාල් ජයසූරිය (2016 ලෝකඩ පදක්කම )පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව පදක්කම් ලාභීන් ද වීම මෙරට පදක්කම් බලාපොරොත්තුව ඉහළ නංවන්නකි. මොවුහු දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් ද වෙති.

මෙවර සංචිතයට ඇතුළත්ව සිටින ඩිලංක ඉසුරු කුමාර පසුගිය ආසියාතික බර ඉසිලීමේ තරගාවලියේදී පදක්කම් දෙකක් දිනා ගනිමින් ජාත්‍යන්තර අවධානය හිමි කර ගැනීමට සමත් වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩකයන් අතර ඉහළ අගයක් ගැනීමට ද සමත්ව සිටින්නේය. තිලංක විරාජ් පළගසිංහ ද ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින් සිටීම කැපී පෙනේ.

ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ආර්.බී.වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පුහුණුකාර මඬුල්ලක් ඇසුරේ ජාත්‍යන්තර ජය-ග්‍රහණ සොයා මොවුහු පුහුණුව ලබති.

ජාතික බර ඉසිලීමේ පිරිමි පුහුණු සංචිතය

ඩිලංක ඉසුරු කුමාර (කිලෝ ග්‍රෑම් 55 ට අඩු ) , චතුරංග ලක්මාල් ජයසූරිය (කිලෝ ග්‍රෑම් 61ට අඩු), තිලංක විරාජ් පළගසිංහ (කිලෝ ග්‍රෑම් 61ට අඩු), මනෝජ් මධුවන්ත විජේසිංහ (කිලෝග්‍රෑම් 67 ට අඩු ), ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග්‍රෑම් 73 ට ආඩු ),ඇන්ටන් සුදේශ් පීරිස් (කිලෝ ග්‍රෑම් 73 ට අඩු), චින්තන ගීතාල් විදානගේ (කිලෝ ග්‍රෑම් 81ට අඩු ),

ශානක මධුශංක පීටර්ස් (කිලෝ ග්‍රෑම් 96 ට අඩු), සමන් අබේවික්‍රම (කිලෝ ග්‍රෑම් 109 ට අඩු ), ඩබ්ලිව්. පී. උෂාන් චාරුක (කිලෝ ග්‍රෑම් 109 ට වැඩි ). රුචිර රංගජිත් ජයසේන (කිලෝ ග්‍රෑම් 73 ට අඩු ) සහ කමල් දේශප්‍රිය එගොඩවත්ත (කිලෝ ග්‍රෑම් 67 ට අඩු ).

0 comment
0

Related Posts

Leave a Comment