Home කාලීන පුවත් ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය වැදගත්

ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය වැදගත්

by Hela news

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

ආර්ථික අභියෝග රාශියක් මැද සෞභාග්‍ය සොයා යන අයවැයක් ලබන වසර (2022) සඳහා ඉදිරිපත් කිරීමට රජයට සිදු වී තිබේ. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ හා අයවැය ඉතිහාසයේ දැවැන්තම අභියෝගයන්ට මුහුණ දෙමින් අයවැයක් ඉදිරිපත් කිරීමට සිදු වී ඇත්නම්, ඒ වසර 2022 සඳහා වූ අයවැයම වන්නේය. මෙවන් පසුබිමක අයවැයක් යනු කවරේ ද? මෙවර අයවැය මුහුණදෙන අභියෝග මොනවාද? ඒවා ජය ගැනීමට හැකි උපායමාර්ගයන් මොනවාද? වත්මන් මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂයන් විසඳුම් යෝජනා ගෙනඒමට කටයුතු කළ යුත්තේ කෙසේද? විමසා බැලීම වටියි. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි සමඟ ‘දිනමිණ’ අප කළ සාකච්ඡාවයි මේ.

– කොවිඩ් 19 ගෝලීය වසංගතය, ඊට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි දේ නිසා තමයි රජයේ ආදායම් බිඳ වැටීමට මුල් වුණේ
– අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඩු වුණා
– විප්ලවීය වෙනසක් සිදුකිරීමට ගත් පියවර දිගුකාලීනව ඉතා වැදගත්
– බොරුවට කාඩ්බෝඩ් පුවරු එල්ලා උද්ඝෝෂණය කිරීමෙන් පලක් වන්නේ නෑ

අප මුලින්ම අයවැයක් යනු කුමක්දැයි කෙටියෙන් හැඳිනගෙන ඉදිරියට යමු. ඒ පිළිබඳ ඔබවහන්සේගේ විග්‍රහය ‍කුමක්ද?

කිසියම් මුදල් වර්ෂයක් සඳහා පාලන බලයේ සිටින ආණ්ඩුව වෙනුවෙන් එහි මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආදායම් – වියදම් පිළිබඳ ලේඛනයට තමයි අයවැය කියා කියන්නේ.

මේ අන්දමට අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා ඒ යෝජනාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය මුදල් කටයුතු කිරීමට ලැබිය යුතුමයි. ඒ දේ ඉටුකිරීමට තමයි අයවැයක් ඉදිරිපත් කරන්නේ.

ජාතික අයවැයක් ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු අංශ මොනවාද?

විශේෂයෙන්ම ජාතික අයවැයක් ඉදිරිපත් කිරීමේදී පවතින අයවැය තත්ත්වය, රටේ ආර්ථික පසුබිම, පසුගිය වසරවල අයවැය යෝජනා, ඒවා ක්‍රියාත්මක කිරීම් ගැන, ඒවාගේම ආර්ථික හා සමාජ පරිසරයන්, ලෝක ආර්ථික තත්ත්වයන්, මුහුණ දෙන අභියෝග, ඒ අභියෝග ජයගත හැකි උපායමාර්ග, වියදම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

මූලිකවම රජයේ ආදායම්, රජයේ වියදම් ගැන සමාලෝචනයක් සිදු කරනවා. රටේ අයවැය පරතරය වසරින් වසර අඩුකර ගැනීම ගැන අයවැයෙන් විවිධ ක්‍රියාමාර්ග යෝජනා කරනවා. එය පිළිබඳව තමයි මෙවර වැඩි අවධානයක් දරා තිබෙන්නේ.

අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන යෝජනා තුළින් බලයේ සිටින ආණ්ඩුවේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම් යම් ඉලක්ක, ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට පියවර ගත යුතුයි නේද?

අවංකවම ගතහොත් ඉටුවිය යුත්තේ ඒ දේ තමයි. නමුත් අපේ රටේ නිදහසින් පසු බලයේ සිටි බොහෝ රජයන් බලයට ඒමට, බලය ලබාගැනීමට ජනතාවට මැතිවරණවලදී දුන් පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ කරුණු පැත්තකට විසිකොට, බලයට පැමිණි පසු ක්‍රියාත්මක කළේ වෙනත් දෙයක්. මේ නිසා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙන කරුණුයි, බලයට පැමිණ ක්‍රියාත්මක කරන දේයි අතර, සමපාතවීමක් සිදු වී නැහැ. එසේ නොවීම බරපතළ ගැටලුවක්.

මැතිවරණ කාලවලදී ජනතාවට දෙන පොරොන්දු ඉටු නොකොට වෙනත් ක්‍රියාමාර්ග ගැනීම යහපත් දෙයක් නොවෙයි. අයවැය යෝජනා මැතිවරණ පොරොන්දු ඉටුකරන තැනට තල්ලු විය යුතුයි නේද?

එය ජනතා විශ්වාසය ඉහළ යෑමට ඕනෑම රජයක් කළ යුතු දෙයක් වෙනවා. මෙවර රජය අයවැය ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාව වඩාත් වේගයෙන් බලගැන්වීමටයි කියා ප්‍රකාශ වී තිබෙනවා. එය හොඳ දෙයක්.

මෙවර අයවැය සකස් කිරීමේදී මුහුණ දෙන අභියෝග මොනවාද?

ප්‍රධානම අභියෝගය තමයි රජයේ ආදායම් අඩුවීම, රජයේ වියදම් දිනෙන් දින ඉහළ යෑම. රජයට විශාල වශයෙන් ආදායම් ලැබෙන මාර්ගවල දුර්වලවීම් ගණනාවක් සිදු වී තිබෙනවා. කොවිඩ් 19 ගෝලීය වසංගතය, ඊට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි දේ නිසා තමයි රජයේ ආදායම් බිඳවැටීමට මුල් වුණේ.

එය තවදුරටත් පැහැදිලි කළ හැකිද?

රජයට ආදායම් ලැබෙන ප්‍රධානතම මාර්ග නැත්නම් ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව. මේ කියන ආයතන තුනෙන් පළමු ආයතනයෙන් පසුගිය වසර 2019 බදු සහන ගණනාවක් රජය විසින් ජනතාවට දුන්නා. රජය වේගවත් ආර්ථික පුනර්ජීවනයක් බලාපොරොත්තුවෙන් තමයි ව්‍යවසායකයින් වූ ව්‍යාපාරික ප්‍රජාවට බදු සහන දුන්නේ.

ඒවාගේම ශ්‍රී ලංකා රේගුවේ ආදායම් මාර්ග ගණනාවක් බිඳ වැටුණා. විශේෂයෙන් කොවිඩ් නිසා රථවාහන ගෙන්වීම නතර කළා. තවත් ආනයන සීමා කළා. මේ තුළ රේගුවේ ආදායම් පහළ ගියා. මේ අතරේ අනිත් පැත්තෙන් රජයේ වියදම් දිනෙන් දින ඉහළ ගියා. මෙය ආණ්ඩුවට විශාල අභියෝගයක් වුණා.

කොවිඩ් 19 වසංගතය නිසා රට වරින්වර අගුළු දැම්මා. ආර්ථීක කටයුතුවලට සීමා පැන වුණා. මේ තත්ත්වය රජයේ ආදායම් අඩුවීමට බලපෑවේ කොහොමද?

ඇත්ත වශයෙන්ම ගතහොත් රට වසාදැමීම නිසා රජයේ තබා පෞද්ගලික අංශයේ පවා ආර්ථික ක්‍රියාකාරකම් ඇනහිටියා. එසේ ආර්ථික ක්‍රියාකාරකම් ඇනහිටීම මත පෞද්ගලික අංශයේ ලාභ ලැබීම්, ව්‍යාපාර දියුණුවීම්, ආර්ථික වර්ධනයන් පහළ ගියා. ඒ සමඟ ඔවුන් රජයට ගෙවන බදු ආදායම් අඩු වුණා. රජයට ආදායම් අහිමි වුණා.

නමුත් රජයේ වියදම් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට, එන්නත්කරණයට, රෝගී සත්කාරක සේවාවලට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප්, දීමනා, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම්වලට විශාල ලෙස වැය වුණා. මුළුමනින්ම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් සතයක්වත් අඩු නොකර, කප්පාදු නොකර ගෙවන්න ඕනෑ. රාජ්‍ය සේවයට අලුතින් බඳවාගන්න ඕනෑ. මේ සෑම දෙයක්ම කරන අතරේ රටේ සංවර්ධන වැඩකටයුතු, ජනතා සුබසාධන වැඩකටයුතු කරන්නත් ආණ්ඩුවට සිදු වුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ සමාජ, ආර්ථික ක්‍රියාකාරකම් බිඳවැටුණා නේද?

බොහොමයක් ප්‍රශ්න අභියෝග ඒ තුළ මතුවුණා. එය අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම තදින් අහිතකර ලෙස බලපෑවා. අපි වාගේ කුඩා ආර්ථිකයන්ට ඔරොත්තු නොදෙන ආකාරයේ බලපෑමක් වුණා. දුප්පත්කම, විරැකියාව, උද්ධමනය ඉහළ යෑමට, ජීවන තත්ත්වයන් පහළට යෑමට මෙය බලපානවා. සංචාරක කර්මාන්තය, රට රැකියාවලින් උපයන විදේශ විනිමය දුර්වල වුණා. රටේ දෙස් විදෙස් ණය බරතාවය ඉහළ ගියා. අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඩු වුණා. ගෙවන්න තිබෙන ණය හා පොලී වාරික ආපසු ගෙවන්න වුණා. මේ සියල්ලක්ම ආණ්ඩුවට එල්ල වූ, මුහුණදීමට සිදු වූ දැඩි අභියෝග ලෙසයි මා දකින්නේ.

කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසකට මේ වන විට මුලපුරා තිබෙනවා. එය ඔබවහන්සේ දකින්නේ කොහොමද?

ජාතික ආර්ථික දියුණුවට කෘෂිකර්මාන්ත අංශයෙන් ලබාදෙන දායකත්වය ඉතා වැදගත්. එය ඉලක්කමක් ලෙස ගත් විට මඳක් අඩු වෙන්න පුළුවන්. නමුත්! මුළුමහත් ජාතියක්ම ආහාරයට ගන්නා බත, එළවළු, පලතුරු සපයන්නේ මේ අංශයෙන්. මේ නිසා මෙහි විප්ලවීය වෙනසක් සිදුකිරීමට ගත් පියවර දිගුකාලීනව ඉතා වැදගත්. මේ පියවර කොතරම් අභියෝගාත්මක ඒවා වුවත් ගත යුතුයි. ආහාර සුරක්ෂිතතාවය ආහාර නිෂ්පාදනය යනාදියට අහිතකර බලපෑම් සිදු නොවන ආකාරයට, ක්‍රමානුකූලවයි මේ ක්‍රියාමාර්ග ගත යුත්තේ. නමුත් කොතනින් හරි නිවැරැදි දේ කවුරු හරි ක්‍රියාත්මක කළ යුතුමයි.

රජයේ ආදායම් අඩුවෙලා. වියදම් වැඩිවෙලා. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඔබවහන්සේ කරන විසඳුම් හා යෝජනා මොනවාද?

අප විසින් අවංකවම රට, ජාතිය ගැන සිතා කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම පාඩු ලබන රජයේ ව්‍යවසායන් (රාජ්‍ය ව්‍යවසායන්) ලාභ ලබන තත්ත්වයට පත්කරගත යුතුමයි. රජයට සාර්ථකව ව්‍යාපාර කරගෙන යෑමට නොහැකි නම්, මේ රාජ්‍ය ව්‍යවසායන් සාර්ථකව කරගෙන යෑමට පෞද්ගලික අංශයේ සාර්ථක ආයතනවලට ආයෝජන සිදුකිරීමට ඒවා භාරදිය යුතුයි.

රජයේ අයිතිය තබාගත යුතුයි කියා බොරුවට කාඩ්බෝඩ් පුවරු එල්ලා උද්ඝෝෂණය කිරීමෙන් පලක් වන්නේ නෑ. අපි අපට කරන්නට බැරි දේ නොකර ඒවා කරන්නට හැකි අයට අවස්ථාව දී රජයට රටේ සංවර්ධන, සුබසාධන වැඩ කරන්නට අවශ්‍ය අරමුදල් තරකර ගත යුතුයි. රජය සෑම දෙයක්ම කරන්නට උත්සාහ ගැනීම වෙනුවට යම් යම් දේ සාර්ථකව සිදුකරගත යුතු අංශ සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට ඉඩකඩ දිය යුතුයි.

දැනට පාඩු ලබන මහා භාණ්ඩාගාරයට මහා බරක් වී තිබෙන ආයතනවල කළමනාකාරීත්වය දක්ෂ ලෙස සිදුකරන පිරිස් වෙත පැවැරිය යුතුයිද?

මේ අවස්ථාව තමයි ඒ දේ ඉටුකිරීමට පැමිණ තිබෙන ස්වර්ණමය අවස්ථාව. බොහෝ ආයතන නඟාසිටුවීමට රජය ගන්නා උත්සාහයන්වල ප්‍රතිඵල ඒ අයුරින් ලැබෙන්නේ නැතිනම්, ඒවා ජනතාවට බරක් නම් රජය කළ යුත්තේ ඊට වඩාත් ගැළපෙන විකල්ප විසඳුම් වෙත යෑමයි. මුදල් ඇමැතිවරයා මෙවර අයවැයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සඳහා ඒවා නඟාසිටුවීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරයි කියා බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ තුළ ජනතාවට සහනයක් ලැබෙයි ද?

අප කවුරු කැමැති වුණත්, අකැමැති වුණත් තිත්ත ඇත්ත එයයි. ජනතාවට මහා බරක් පැටවෙමින් රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කිරීමට මුදල් වැය කරනවා වෙනුවට ජනතාවගේ බදු බර අඩු කිරීමට, ජීවන බර සැහැල්ලු කිරීමට මේ අනවශ්‍ය බර දැරීම්වලින් රජය ඉවත් විය යුතුයි. ජාතික අයවැයෙන් එවැනි යෝජනා ගෙනැවිත් දේශීය – විදේශීය ආයෝජකයින්ට පහසුවෙන් අපේ රටේ ව්‍යාපාර කරන්න, ආයෝජන අලුතින් ගේන්න ඉඩකඩ දිය යුතුමයි.

එය රට මුහුණදෙන බොහෝ ආර්ථික අභියෝග ජයගන්නට ඉවහල් වන දෙයක්. නව ආයෝජන තුළින් පමණයි අපට අපේ ප්‍රශ්න විසඳාගත හැකි වන්නේ.

0 comment
0

Related Posts

Leave a Comment