Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි සිරිලාල් කොඩිකාර අභාවප්‍රාප්ත වෙයි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි සිරිලාල් කොඩිකාර අභාවප්‍රාප්ත වෙයි.

by Hela news

මෑත භාගයේ මෙරට ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වූ සිරිලාල් කොඩිකාර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය.

1924 අගෝස්තු 27 දා උපන් ඒ මහතා මිය යන විට 97 වැනි වියේ පසු විය. පිටිහුම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, පසුව ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ද උගත්තේය.

1948 ආරම්භ වූ ‘සිංහල ජාතිය‘ පුවත්පතෙන් පුවත්පත් කලාවට එක්වූ සිරිලාල් කොඩිකාර මහතා පසුව ‘දවස‘ හා ‘ඇත්ත‘ පුවත්පත්වලද කටයුතු කළේය. කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වූ ඇත්තේ විශේෂාංග සංස්කාරකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා කලක් එහි ප්‍රධාන කතුවරයා ලෙසද කටයුතු කළේය.

සිරිලාල් කොඩිකාර මහතා ‘රංචාගොඩ ළමයා‘ නමින් ඇත්ත පුවත්පතට ලියූ කාව්‍යමය විශේෂාංගය එවකට පාඨකයා අතර වඩාත් ජනප්‍රිය වූයේ එය බලයේ සිටි දේශපාලකයන්ට රිදෙන්නට පහර දුන් දේශපාලන ටොක්කක් ද වූ හෙයිනි. ‘රංචාගොඩ ළමයා‘ පසු කලක සිරිලාල් කොඩිකාර මහතා අතින් සිළුමිණ පුවත්පත වෙනුවෙන්ද රචනා විය. විශේෂයෙන්ම නිවැරැදි සිංහල භාෂා භාවිතය සම්බන්ධයෙන් ඒ මහතා මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධියක් ඉසිළීය.

කොමියුනිට් පාක්ෂිකයකු වූ සිරිලාල් කොඩිකාර මහතා, හැම විටම මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් සිය පෑන මෙහෙය වූ අදීන පුවත්පත් කලාවේදියක් වූයේය. ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇති සිරිලාල් කොඩිකාර මහතාගේ කෘති අතර මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ප්‍රධාන වේ.

නැසී ගිය අනුලා වීරසූරිය මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සිරිලාල් කොඩිකාර මහතා දියණියකගේ සහ පුතුන් දෙදෙනකුගේ පියකු වේ.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ අද (20) තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරු 5. 30ට සිදු කෙරේ.

0 comment
0

Related Posts

Leave a Comment