Home කාලීන පුවත් ජපන් කුලවමියක් ලියූ ලොව මුල්ම නවකතාව

ජපන් කුලවමියක් ලියූ ලොව මුල්ම නවකතාව

by Hela news

ජෙන්ජි මොනොගටාරි විශ්ව සාහිත්‍යයේ ප්‍රථම, ශ්‍රේෂ්ඨ, සම්භාව්‍ය නවකතාව ලෙස සම්මානිතය. එය ලියා ඇත්තේ ගද්‍ය වෘත්තාන්තයක් ලෙසින් ලගන්නා සුළු හා චිත්තජ රූප දැල්වෙන භාෂා ශෛලියකිනි. ලොව අපූර්වතම ගති, සිරිත් විරිත් සම්ප්‍රදායකට අනුගත වූ, ජපන් රාජ වංශිකයින්ගේ දිවි පෙවෙත අතිශයින්ම, සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරිය දක්වා ඇත්තේ අනුපමේය වූ කුසලතාවකි. රජවාසල තත්‍ය සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ සජීවී සංවාදමය ස්වරූපයෙනි.   


 කථාව විකාශනයේදී අතිශයින්ම හද කම්පනීය සිදුවීම්, වකා නම් වූ ජපන් සම්ප්‍රදායික පද්‍ය ඛණ්ඩයන් මගින් සැරසීමට කතුවරිය දක්වා ඇති සාමාර්ථය ඉමහත්ය. මෙහිදී අපට ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල ප්‍රචලිත ගද්‍ය, පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලිය සිහිපත් වේ. ඕනෑම රාජ්‍යයක, දේශයක සම්භාව්‍ය කාව්‍ය, සාහිත්‍ය කෘති බිහිවන්නේ එහි සාමකාමී සංහිඳියාවෙන් පිරිපුන් පරිසරයක් පවත්නා යුගයන්හි බව ඉතිහාසය අපට සිහිගන්වයි. ජපානය විශ්ව සාහිත්‍යයට මුල්ම නවකතාව දායාද කරන්නේ එවන් හිතකර පසුබිමක් පැවති යුගයකදීය.   


 අටවැනි සියවසේ අග භාගයේදී, අධිරාජයා මධ්‍යම ජපානයේ අගනුවර සඳහා නව ස්ථානයක් තෝරාගෙන මනරම් කඳු වළල්ලකින් වට වූ නගරයක් ඉදි කළේය. නව නගරය හැඳින්වූයේ “සන්සුන්කමේ අගනුවර”‍ හියන්-කියෝ යනුවෙනි. (එය නූතනයේ කියෝතෝ නගරය බවට පත් වී ඇත.) මෙම නගරය හියන්-කියෝ නමින් නම් කරන ලද හියන් කාලයේදී (794-1185) රට සැබැවින්ම සාමකාමීව පැවති අතර අධිරාජ්‍යයේ වංශාධිපතීහු සම්භාව්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක නියැලී සිටියහ.   


 ජෙන්ජි මොනොගටාරි නවකතාව නිර්මාණය කළ ජපන් කුලවමිය, මුරසකි ෂිකිබු පහළ වන්නේද මෙම ස්වර්ණමය යුගයෙහිය. ෂිකිබු යනු ජපන් බසෙහි ආර්යාව යන ගෞරවණීය අරුත ගෙන දෙයි. මුරසකි යන්න ඇයගේ නියම නම නොව, එය ලේඛිකාවක වශයෙන් ඇය භාවිත කළ ආරූඪ නාමයක් බව ඇතැම් වියතුන් පෙන්වා දෙති. 1007 ඇය සේවයෙහි නිරතව සිටි රජ මාලිගයේ දිනපොතක සඳහන් වූ ෆුජිවාරා නො කෞරුකෝ ඇයගේ නාමය විය හැකි බව ඇතැම් පැරණි මූලාශ්‍රයන්හි සඳහනි. ඇය ජපානයේ හෙයි – අන් රජ පෙළපතේ පාලන සමයෙහි. රාජ සභාවේ නියුක්තව සිටි ප්‍රභූ කාන්තාවකි. මුරසකි ආර්යාව ජීවත්ව ඇත්තේ අදින් වසර 1923 ට පෙර, ක්‍රිස්තු වර්ෂ 978 – 1031 අතර කාල පරිච්ඡේදය තුළය. ඇය ජීවත් වූයේ අවුරුදු 53 වන් අල්ප කාලයකි.   


 මුරසකි ආර්යාව උපත ලද්දේ ඉතා වංශවත් ෆුජිවාරා පවුලේ දියණියක් ලෙසිනි. 9 වන සියවසේ සිට 12 වන සියවස දක්වා කාලය තුළ ෆුජිවාරා පවුල, ජපන් අධිරාජ්‍ය පාලන තන්ත්‍රයේ ආධිපත්‍යය දැරීය. විචක්ෂණශීලී හා රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දෙන් අනූන වූ පරම්පරාවක් සේ අතීතයේ ඔවුහු සමාජයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ බැව් සඳහනි. මනා අධ්‍යාපනයක් ලද මුරසකි ගැඹුරු භාෂා ඥානයකින් හෙඹි කාන්තාවක් ලෙස ද ප්‍රකට ය.   
 ඇය සිය යොවුන් වියේදීම, බොහෝ වැඩිමහල් තම ඥාතියෙක් වූ ෆුජිවාරා නොබුටකා සමඟ විවාහප්‍රාප්ත වූවාය. එම දෙපළ දියණියක ලැබූ අතර, විවාහයෙන් වසර දෙකකට පසු ෆුජිවාරා මිය යන්නට යෙදිනි.   
 ජපන් ජනප්‍රවාදයකට අනුව, මුරසකි ආර්යාව සිය ස්වාමියා වියෝවීමෙන් පසුව හුදෙකලා දිවියකට අනුහුරු වූවාය. ඇය එක්තරා හිරු අවරට ගිය යාමයක, බීවා විල් තෙර, දෑස් අහස් කුස වෙත යොමා නිසල කල්පනාවේ නිමග්නව සිටි නිමේෂයකි. පෙරදිග අහසේ උදා වෙමින් පැවති නව සඳ ඇය නෙත් ගැටිණි. නිසල පරිසරයේ සඳ වට පැතිරී චන්ද්‍ර බිම්ඹය, තමන් රජ මැදුරේ රාජකාරියේ නියැළී සිටි අවදියේ එහි නිවැසි රාජකීයයන්ගේ ප්‍රභාෂ්වරය සිය මතකයට සමීප කරවන සුළු විය. එදවස තමන් දෑසින් දුටු, මනසින් ස්පර්ශ කළ රාජකීයන්ගේ අපූර්ව ජීවන චර්යා රටාව ඇසුරෙන් නව මාදිලියේ කතාවක් ගෙතීමේ අභිලාශය තීව්‍ර ලෙස ඇය සිත් පිළිසිඳ ගැනිණි. වසර කිහිපයක ප්‍රයත්නයෙන් ඇය අභිලාශය මල්පල ගැනිණි. ඇය රජ මැදුරේ රාජකාරියේ නිරතව සිටි දශක කිහිපය තුළම, එහි දෛනික සිදුවීම් සියල්ල සිය දිනපොතෙහි සවිස්තර සටහන් කර තිබීම, මෙම කාර්ය ඇයට වඩාත් පහසුකරලන්නක් වූවා සේ හැඟේ. මේ අයුරින් ලොව මුල්ම නවකතාව ජෙන්ජි මොනොගටාරි ග්‍රන්ථය ක්‍රි.ව. 1008 දී ලොවට බිහිවිය.   
 කොටස් තුනක් වශයෙන් පරිච්ඡේද 54 කින් සමන්විත ගෙන්ජි නවකතාව ලියා නිම කරන්නට, ඇයට අවුරුදු දහයක් ගත වූ බැව් පැවසේ.   


 මුරසකි ආර්යාව සිය නිර්මාණකරණයේදී නව නිර්මාණනීය මංපෙතකට අවතීර්ණ වූ සෙයක් විද්‍යමාන වේ. ක්‍රිස්තු පූර්ව යුගයන්හි සිට ජපන් සාහිත්‍ය සම්ප්‍රදායයේ ජනගතව පැවති, දේවකතා, මිථ්‍යා විශ්වාස, ජන ඇදහිලි ආදියෙන් ඇය සහමුලින් ම බැහැරවූවාය. අත්‍යයන්තයෙන් ම ඇය ඉන්ද්‍රීය ගෝචර වන, මසින් ලෙයින් සුසැදි සජීවීමත් මානව ප්‍රජාවේ ක්‍රියාකාරකම්, දෛනික දිවි පෙවෙත ප්‍රස්තුත කොට සිය නිර්මාණකරණයෙහි නියුක්ත වූවාය. එතෙක් ජපන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ මුල් බැසගෙන පැවති සම්ප්‍රදායයෙන් බැහැරව, ව්‍යක්ත ආකෘතියකින් මුරසකි ආර්යාව කළ මෙම නව නිර්මාණය ලෝකයේ ප්‍රථම තාත්වික නවකතාව ලෙසින් වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වේ.   
 අති සොදුරු ප්‍රේමණීය සබැඳියාව, රුදුරු, කුරිරු, කාලය නමැති ආඥාදායකයාට නතුව මැකී යන සෝචනීය විලාශය මෙම නවකතාවේ තේමා සංකල්පය ලෙස ඉස්මතු වේ. බුදු දහමේ සනාතනික අනිත්‍ය සංකල්පය අපට සිහිගන්වන ගැඹුරු දෝමනස්ස සහගත දර්ශනවාදී චින්තනයක් කතාව විකාශනයේදී ඉතා සියුම් ලෙස ගම්‍ය වේ.   


 යුවතියනගේ ආදරයෙන් මුසපත් මනෝ භාවය පමණක් නොව වංශවත් කුමාරවරුවන්ගේ රාගයට ආසක්ත වූ සිතිවිලි පරම්පරාවන් ද කාව්‍යමය භාෂා රීතියකින්, ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කරන්නට මුරසකි ලේඛිකාව දක්වා ඇති මහිමය අපමණය. සිය පාත්‍ර වර්ගයාගේ පසුබිමේ පැවති සොබාදහමේ සුන්දරත්වය ද මුසු කරමින් කතාව ඉදිරියට ගලා යන්නේ නදියක ගමන් ලාලිත්‍යයයෙනි. තෙලි තුඩ අත රැඳි සිත්තරෙක් තමන් අධ්‍යාහාරයෙහි නිපන් මානව ක්‍රියාකාරකම් තීව්‍ර සංවේදීතාවයකින් බිතු සිතුවමකට නගන්නා සේ, ඇය සිය නවකතා වියමන සිදුකර ඇත්තීය.   
 එහි කතාව විකාශනය වන්නේ, හීයාන් යුගයේ ජපානයේ ප්‍රභූ පැලැන්තියේ සංස්කෘතිය පිළිබඳ අවශෝෂණ පූර්නිකාවක් ලෙසිනි. එහි විනෝදාස්වාදය, විසිතුරු ආයිත්තම්, ඇඳුම් පැලඳුම් සහ සදාචාරාත්මක නොවන දෛනික ජීවිතය දෙස කතුවරිය සිය විමසුම් සහගත ආලෝක ධාරාවක් විහිදුවයි.   
 කතාවේ සාරාංශය   


 කතාවේ ප්‍රධාන චරිතය වන ජෙන්ජි, කිරුට්සුබෝ අධිරාජයාගේ පුත්‍රයා වන අතර ඔහුගේ මව පෝලොනියා දේවියයි. ජෙන්ජිගේ මව ගිලන්ව, ඔහු කුඩා අවදියේම මියැදීමෙන් ඔහු වැඩෙන්නේ මව් සෙනෙහස අහිමි දරුවෙක් ලෙසිනි. වයසින් වැඩෙත්ම ඔහු තුළ ආදරය පසුපස හඹායනසුළු මනෝභාවයක් උද්දීපනය වීමට එය ද ප්‍රබල සාධකයක් වන්නට ඇත. 

 
 මුරසකි ෂිකිබු ආර්යාව සහ ඇගේ කතාවේ ප්‍රධාන චරිතය වන ජෙන්ජි කුමරු ජපන් සංස්කෘතිය කෙරෙහි අසමසම බලපෑමක් කර ඇත. හේ නියම හියෑන් යුගයේ රජ කුමරුවකගේ ප්‍රතිරූපය විදහා දක්වයි. ජෙන්ජි කුමරු අසාමාන්‍ය කඩවසම් පෙනුමක් ඇති දක්ෂ කවියකු, නර්තන ශිල්පියකු, සංගීතවේදියකු සහ චිත්‍ර ශිල්පියකු ද වේ. ඔහුගේ නම ද ඔහුගේ පෙනුමට බෙහෙවින්ම ගැලපෙන්නක් විය. ජපන් බසින් ජෙන්ජි යන්නෙහි අරුත ප්‍රභාෂ්වර කුමරු යන්නයි. එනිසාම නිරන්තරයෙන් ම ඔහු සොදුරු ළඳුන්ගේ ප්‍රේමණීය නෙතඟ බැල්මට යොමුවූ අයුරු මුරසකි සිය කෘතියේ කාව්‍යමය බස් වහරකින් අපූර්ව ලෙස අප සිත්හි සිතුවම් කරන්නීය. පුහුදුන් මානව චර්යාව ජෙන්ජි ට ද පොදු විය. ඔහු තමන් කෙරෙහි ආකර්ශිත යුවතියන් ගණනාවක් සමග අසීමාන්තිකව පෙම් සබැඳියාවන් ඇතිකර ගැනීමට පෙළඹිණි.   
 ජෙන්ජිගේ නවකතාවේ බොහෝ කථාංග ගෙතී ඇත්තේ ජෙන්ජි සම්බන්ධ වන ප්‍රේම සබඳතා සහ ඔහුගේ ජීවිත කතාව තුළ ඔවුන් අත්විඳින සතුට හා සංකූලතා කේන්ද්‍රීයවය. ෆෙන්ජිට්සුබෝ ආර්යාව මුණගැසෙන තුරු ජෙන්ජිගේ මවගේ මරණය ගැන අධිරාජයා වැළපෙයි: කෙටි කලකදී ජෙන්ජිගේ මව වැනි කාන්තාවක් වෙත අධිරාජයාගේ ආකර්ෂණය යොමුවෙයි. අධිරාජයා එම යුවතිය හා සරණේ බැඳෙයි. ඇය ෆුජිට්සුබෝ ආර්යාවයි. තම මව සිහි කිරීමට තරම් කුඩා නොවූ ජෙන්ජි කෙරෙහි ද ඇය දැඩි ඇල්මක් දක්වයි; මේ අනුව, ෆුජිට්සුබෝ ආර්යාව ඔහුට ආදේශක මවක් වේ.   

 නවකතාවේ 1000 වන සංවත්සරය සැමරුමට, කතුවරියගේ සේයාව සහිතව නිකුත් කළ ජපන් යෙන් මුදල් නෝට්ටුව.   

 වයස අවුරුදු 12 දී, ජෙන්ජි, රජ වාසල ඇමැතිවරයකුගේ දියණියක් වූ 16 හැවිරිදි අයෝයි සමඟ විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා වූ යුගිරි ඉපදී මඳ වේලාවකට පසු ඇය මිය යයි. නව යොවුන් වියට පත්වත්ම, ජෙන්ජි තම මාමාගේ වැන්දඹුව වන රොකුජෝ සහ යුගාඕ නම් කාන්තාවක් ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනකු සමග දැඩි සමීප සබඳතාවයක් පවත්වයි.   


 ඒ අතරම තම සුළු මව වන ෆුජිට්සුබෝ ආර්යාව සමගින් ජෙන්ජි රහස් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමෙන් එම දෙපළට දාව පුත්‍රයකු බිහි විය. දරුවාගේ පියාගේ රහස අධිරාජයාගෙන් සැඟවීමට ඔවුහු සමත් වෙති; එම දරුවා තමාගේම යැයි පිය අධිරාජයා උපකල්පනය කරයි. ජෙන්ජි මීට අමතරව රජ වාසල කොකිඩන් ආර්යාවගේ සහෝදරිය ඇතුළු අනෙකුත් කාන්තාවන් සමඟ සබඳතා පවත්වයි. ජෙන්ජිගේ පියා අධිරාජයා ලෙස විශ්‍රාම ගොස් මිය යන මොහොතේදී ජෙන්ජිගේ අවකල් ක්‍රියාකලාපය හෙළිවීමෙන් ඔහුට රජවාසලින් සුමා ප්‍රාන්තයට පලා යාමට සිදුවිය. අධිරාජ්‍ය පදවිය වෙනත් බිසවකගේ පුත් කුමරුවකුට හිමි වේ.   
 පිටුවහල්ව සිටියදී වුවද ඔහු තුළ නිසඟයෙන් පැවති ස්ත්‍රී ලෝලත්වය තුනීවී නොතිබිණි. ජෙන්ජි පූජකයකුගේ දියණිය වන අකාෂි ආර්යාව සමඟ සම්බන්ධයක් ඇති කර ගත් අතර ඔවුනට දාව දියණියක් බිහිවෙයි. ජෙන්ජි නැවත අගනුවරට පැමිණෙන අතර, හිටපු අධිරාජයා ධුරයෙන් ඉවත්වීමෙන් ජෙන්ජිට රාජ්‍ය බලය හිමි වේ. ජෙන්ජි තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟ ඔහුගේ රොකුජෝ මන්දිරයේ පදිංචි වෙයි.   
 ජෙන්ජි තුළ කලකට ඉහත මිය ගිය සිය සුළු මව මෙන්ම අනියම් භාර්යාව වූ ෆුජිට්සුබෝ ආර්යාව නිරන්තරයෙන් සිහිපත් කරමින් පසුතැවිලි වන්නට විය. ඒ අතර ජෙන්ජිට මුරසකි නම් තරුණියක් මුණ ගැසේ; ඇය ෆුජිට්සුබෝ ආර්යාවගේ ලේලියයි. ඇය වංශවතියක් නොවුණද ජෙන්ජි, මුරසකි ඔහුගේ දෙවැනි බිරිඳ බවට පත් කර ගන්නා ලද්දේ අැයගේ රූ සපුවද, තමන් බෙහෙවින් ඇළුම් කළ ෆුජිට්සුබෝ ආර්යාවගේ රූපයට සමවූ නිසාවෙනි. මුරසකිට තමන්ගේම දරුවන් ලබා ගැනීමට අසමත් වෙයි. එනමුදු ඇය සතුටින් ජෙන්ජිගේ කලින් බිරිඳ වූ අකාෂිගේ දියණිය හදා වඩා ගත්තාය. ජෙන්ජි අතිශයින් ඇලු‍ම් කළ මුරසකි හදිසියේ දැඩි ලෙස රෝගී වෙයි. මුරසකි මරණය නොවැළැක්විය හැකි බව වටහා ගනී. ඇය අධ්‍යාත්මිකව මරණයට සූදානම්ව පවුලේ සැමට සමු දෙයි. සරත් ඍතුවේ එක් සිසිල් සන්ධ්‍යාවක, ඇගේ උද්‍යාන දැක ගත හැකි වන පරිදි ජනේලයක් අසලට තමා ගෙන යන ලෙස ඇය ඉල්ලයි. උද්‍යානයේ අසිරිය දෙස දෙනෙත් යොමා සිටින අතර ඇය මිය යයි. ජෙන්ජි අතිශය ශෝකයට මෙන්ම කලකිරීමට පත්වෙයි. ඔහු තම අතීතය පිළිබඳව සෝබරිතව ආවර්ජනයක නියැලෙයි. විවිධ පෙම් සබඳතා ඇතිකර ගනිමින් ඔහු තමන් පැමිණි ගමන් මග පිළිබඳ සිහිපත් වෙද්දී, ඒවා කෙතරම් නිසරු බොළඳ ප්‍රයත්නයන් ද යන්න වටහා ගනී. ජෙන්ජි ගේ අවසන් කාලයේ ඔහුගේ ආවර්ජනය ඇසුරෙන්, කතුවරිය බුදු දහමේ සනාතනික අනියතතාව මැනවින් උද්දීපනය කර දක්වයි.   
 මීළඟ පරිච්ඡේදයන්ගෙන්, ජෙන්ජි උජි හි පිහිටි හුදෙකලා කඳුකර ප්‍රදේශය වෙත ගොස් පදිංචි වන අයුරු අනාවරණය වේ. ජෙන්ජිගේ පුත්‍ර යුගිරි සහ මුනුබුරු නියෝගේ වික්‍රමාන්විතයන් මෙහි ගෙනහැර දක්වයි. මුරසකි ආර්යාව මිය ගොස් වසරකට පසු 52 වැනි වියේදී ජෙන්ජි මිය යයි. ජෙන්ජිගේ පුත්‍රයා වූ යුගිරි පවුලේ කුලදෙටුවා ලෙස ඔහුගේ ස්ථානයට පත්වේ.   


 අනතුරුව නවකතාව විකාශනය වන්නේ ජෙන්ජි ගේ පරපුරෙන් පැවත එන්නන්ගේ ජීවන වෘත්තීන් හඹා යාමක් ලෙසිනි.   


 ජෙන්ජිගේ සහෝදරයා වන හචි නො මියා කුමරුගේ බිරිඳ මියැදෙයි. එම දෙපළට අගේමාකි සහ කොසෙරි නම් දියණියන් දෙදෙනෙකි. හචි කුමරු තම බිරිඳගේ මරණයෙන් පසුව තම දියණියන් දෙදෙනා ද සමග කඳුකරයේ පිහිටි කුඩා මන්දිරයක පදිංචියට යයි. හචි ශුද්ධ ලියවිලි අධ්‍යයනය සඳහා කැපවෙයි.   
 ජෙන්ජි නවකතාව පසුව ජෙන්ජිගේ මුණුපුරා වන නියෝ, ඔහුගේ පුත් යුගිරි සහ අවජාතක පුත් කෞරු ඇතුළු පරම්පරාව වෙත විශ්ලේෂණාත්මක ආලෝක ධාරාව විහිදුවයි. ඔවුන්ගේ චරිතාංගයන් ද ජෙන්ජි මෙන්ම කාන්තා ඇසුරේ ගිලු‍ණු කුමාරවරුන් ලෙසින් නිරූපිතය.   


 ජෙන්ජිගේ ජීවන ප්‍රවාහය නිර්මාණය කළ ‘‘මුරසකි’’ උපත ලැබූ ජපානයේ කියෝතෝ නගරයෙහිය. ඇයගේ නවකතාවට දහස් වසරක් සපිරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් කියෝතෝහි, 2008 වසර පු‍රා උත්සව පැවැත්විණි. ජපන් ජාතිකයන් තුළ මුරසකි ආර්යාව පිළිබඳව පවත්නා මහත් ගෞරවය එමගින් පිළිබිඹු වේ. මුරසකි ආර්යාවට ජාතික ගෞරවය පිරිනැමීම උදෙසා, ජපානයේ ප්‍රථමයෙන් නිකුත් කළ යෙන් දෙදහසේ මුදල් නෝට්ටුවේ මුරසකි ආර්යාවගේ ගෙන්ජි කතාව නිරූපිතය. ඊට අමතරව කියෝතෝවේ ස්ථාන කිහිපයක මුරසකි ආර්යාවගේ පිළිරූ ඉදිකර තිබෙනු දැකිය හැකිය. මෙම ජපන් නවකතාව ලොව නන් දෙස භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති බව ද වාර්තා වේ. ජපන් චිත්‍ර ශිල්පීහු ගෙන්ජි නවකතාවේ ඇතැම් සිදුවීම් ආශ්‍රයෙන්, සම්භාව්‍ය චිත්‍ර නිර්මාණයට යොමු වූහ. ජෙන්ජිගේ ජීවන චර්යාව කෘතිය ඇසුරෙන් විවිධ රටවල ජනප්‍රිය සිනමා කෘති රාශියක් ද නිෂ්පාදනය වී ඇත. මෙලෙසින්, විවිධ අන්දමින් ගෙන්ජි කතාව ජපානයේ ජනජීවිතයේ මුල් බැසගෙන පවතී.     

0 comment
0

Related Posts

Leave a Comment